Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන මධ්‍යම තොරතුරු ඒකකය බැලැස්ටි ජලය සාගරයට...

බැලැස්ටි ජලය සාගරයට...

  • පී.ඩී.එෆ් (PDF)
Image
බැලැස්ටි ජලය සාගරයට මුදා හැරීම තුළින් ආක‍්‍රමණශීලී ජීවීන් හා ශාක සංක‍්‍රමණයවී සාගර දූෂණයවීමක් සිදුවේ.

නැවක සමතුලිතතාවය පාලනය කිරීම සඳහා යොදා ගනු ලබන බැලැස්ටි ජලය නැව් භාණ්ඩ පැටවීමේදී හා බෑමේදී සාගරයට මුදා හැරීම හේතුවෙන් ආක‍්‍රමණශීලී ජලජ ජීවීන් හා ශාක සංක‍්‍රමණයවී සාගරය දූෂණයවීමක් සිදුවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

තවද, ලෝකයේ වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් බිලියන 10 සිට 15 දක්වා බැලැස්ටි ජලය සංසරණයවීමක් සිදු වන අතර මෙම ජලය සමඟ දිනකට එක් පරිසරයක සිට තවත් පරිසරයකට ජීවී විශේෂ 3000ක් පමණ සංක‍්‍රමණය වන බව ද ඇස්තමේන්තු කර තිබේ.

මෙලෙස පැමිණෙන ආගන්තුක ජීවීන් නිසා පරිසර පද්ධතිවලට අහිතකර බලපෑම් ඇතිවෙන අතර පරිසර සමතුලිතතාවය බිඳ වැටීම, සමාජීය හා ආර්ථිකමය හානි සහ සෞඛ්‍යමය ගැටළු මතුවීමටද ඉඩ ඇති බව සමුදී‍්‍රය පරිසර ආරක්ෂණ අධිකාරිය අවධාරණය කර සිටියි.

මෙම සමුද්‍ර දූෂණයෙන් 90%ක් ගොඩබිම සිදුකරන ක‍්‍රියාකාරකම් වලින් ද 10%ක් නැව් හා මුහුදු ආශ‍්‍රිත ක‍්‍රියාවන් නිසා ද සිදුවනු ඇත. එහෙත් අද ලෝකයේ භාණ්ඩ ප‍්‍රවාහනය කිරීම 90%ක් නැව් මඟින් සිදු කෙරන නිසා බැලැස්ටි ජලය මුදා හැරීම සාගරය මුහුණ දෙන විශාල තර්ජන අතරින් එකක් බව ද පෙන්වා දෙයි.

මේ අනුව, බැලැස්ටි ජල ප‍්‍රශ්නයේ බැරෑරුම්කම ගෝලීයව අවබෝධ කරගත් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය බැලැස්ටි ජල සම්මුතියක් පවා මේවන විට සකස් කර තිබේ. මෙම සංවිධානය මඟින් දියුණු වෙමින් පවතින රටවලට අවශ්‍ය තාක්ෂණික දැනුම බෙදාදීමට හා කළමණාකරණ සැළසුම් ගැලපෙන අයුරින් ක‍්‍රියාත්මක කරවීමට උනන්දු කරලීමට ද කටයුතු කෙරේ.

මෙම ව්‍යාපෘතිය ඉන්දියාව, බ‍්‍රසීලය, චීනය, ඉරානය, දකුණු අප‍්‍රිකාව සහ යුක්රේනය යන රටවල නියමු ව්‍යාපෘතියක් ලෙස දැනට ක‍්‍රියාත්මක කෙරෙන අතර දකුණු ආසියාතික සැලැස්ම සඳහා ඉන්දියාව විසින්  රටවල් 06ක් තෝරාගෙන ඇති අතර ශ‍්‍රී ලංකාව ද මෙයට සම්බන්ධව කටයුතු කෙරෙනු ඇත.

 
ඒ.හිල්මි මොහොමඞ්
සහකාර ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ(ප‍්‍රචාරක)
රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට