Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන මධ්‍යම තොරතුරු ඒකකය සුනාමියෙන් විපතට පත්...

සුනාමියෙන් විපතට පත්...

  • පී.ඩී.එෆ් (PDF)
සුනාමියෙන් විපතට පත් ධීවර පවුල්වලට අතිරේක ආදායමක් ඉපයීමට විශේෂ ණය පහසුකම්
                
සුනාමි ව්‍යසනයෙන් විනාශ වී හෝ අඩපණ වී නැවත ගොඩනැගුණු සුළු ව්‍යාපාර ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් විපතට පත් ධීවර කාර්මිකයින්ට උපරිමය රු 150,000 දක්වා සහන ණය ලබා දීමට රජය පියවර ගනී.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක පශ්චාත් සුනාමි වෙරළ පුනරුත්ථාපන හා සම්පත් කළමනාකරණ වැඩසටහන හරහා මෙම විශේෂ ණය ක්‍රමය ක්‍රියාත්මක කරයි.

සුනාමියෙන් විපතට පත් ධීවර කාර්මිකයින්ට ධීවර කර්මාන්තයට අමතරව සිය පවුලේ ආදායම වර්ධනය කර ගත හැකි සුළු කර්මාන්ත සඳහා මෙහිදී ප්‍රමුඛත්වය ලබා දේ. කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, ත්‍රිකුණාමලය, අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන  —දියවර සවිය— නමින් ක්‍රියාත්මක කෙරේ. ධීවර හා ඒ ආශ්‍රිත පවුල්වල අතිරේක ආදායම් මාර්ග වැඩි දියුණු කිරීම සඳහා කාන්තා දායකත්වය ලබා ගැනීම මෙන්ම යැපුම් මට්ටමේ පවතින කුඩා ව්‍යාපාරවල තාක්ෂණය හා වෙළඳපල සංවර්ධනය ඇතුලූ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ද මෙම වැඩසටහන හරහා සිදු කෙරෙනු ඇත.

මෙහිදී එක් දිස්ත්‍රික්කයකින් කුඩා පරිමාණ ව්‍යවසායකයින් 300 බැගින් තෝරා ඔවුන්ට එම කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය හා පුහුණුව ලබා දී ක්‍රමවත් ව්‍යාපාර සැලැස්මක් සැකසීමට උපදෙස් ලබා දෙනු ඇත. පසුව එම සැලැස්ම කියාත්මක කිරීමට අවශ්‍ය ණය පහසුකම් රජයේ සංවර්ධන බැංකු හරහා සහන පොළී අනුපාතයක් යටතේ ලබා දීමට කටයුතු කෙරේ. මෙහිදී කුඩා කණ්ඩායම් සඳහා උපරිමය රු ලක්ෂ 10 දක්වා ද සහන ණය ලබා දේ.

2013 වර්ෂය දක්වා ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය හරහා අදාළ දිස්ත්‍රික්ක හතේ සුළු ව්‍යවසායකයින් 2100-3000ත් අතර ප්‍රමාණයකට සිය ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් සැපයීමට යෝජිතය. ඒ සඳහා කෘෂිකර්මය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) මගින් රු මිලියන 420ක් වෙන් කර ඇත.

මේ යටතේ ආරම්භ කෙරෙන නව කර්මාන්තවලට අවශ්‍ය වෙළඳපොල සකසා දීමද මෙම ව්‍යාපෘතිය හරහා සිදු කිරීම විශේෂත්වයකි. මෙම ණය ක්‍රමය පිළිබඳ වැඩි විස්තර අදාළ දිස්ත්‍රික්කවල පශ්චාත් සුනාමි වෙරළ පුනරුත්ථාපන හා සම්පත් කළමනාකරණ වැඩසටහනේ දිස්ත්‍රික් වැඩසටහන් කළමනාකරණ ඒකකවලින් සහ ළ`ගම පිහිටි මහජන බැංකුව, ලංකා බැංකුව, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව, ඌව සබරගමුව හා රුහුණු සංවර්ධන බැංකුවලින් ලබා ගත හැක.

මෙම ව්‍යාපෘතිය යටතේ ජාතික ජල ජීවී හා වගා සංවර්ධන අධිකාරියේ අනුග්‍රහයෙන් සුරතල් මසුන් ඇති කිරීමේ කර්මාන්තය පිළිබඳ විශේෂ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක කෙරේ. එසේම කරවල, ජාඩි නිෂ්පාදනය, එ`ඵවන් ඇති කිරීම ආදී කර්මාන්ත සඳහාද ධීවර පවුල්වල විශේෂ යොමුවීමක් ඇති බව මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ තිසේරා මහතා පවසයි.

නිවේදන අංකය                             දිනය 2010-07-02