Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන මධ්‍යම තොරතුරු ඒකකය ප‍්‍රවෘත්ති නිවේදනයයි

ප‍්‍රවෘත්ති නිවේදනයයි

  • පී.ඩී.එෆ් (PDF)
ග‍්‍රීස් යකුන් හා භූතයින් නමින් විවිධ පුද්ගලයින් ඇතැම් පෙදෙස්වල හැසිරෙන බවට පතුරුවා ඇති කට කතාවල කිසිදු සත්‍යතාවක් නොමැත.

මෙසේ ග‍්‍රීස් තවරා ගත් කිසිදු පුද්ගලයෙකු පොලීසිය විසින් මෙතෙක් අත්අඩංගුවට ගනු ලැබ නැත. එමෙන් ම ජනතාව විසින් එවැනි පුද්ගලයෙකු අල්ලා පොලීසිය වෙත බාර දෙන ලද බවක් දිවයිනේ කිසිදු පළාතකින් වාර්තා වී නොමැති බව පොලිස්පතිතුමා ද තහවුරු කර තිබේ.

දිවයින මුළුල්ලේ ඇති වී තිබෙන සාමකාමී වාතාවරණයෙන් පසු ව ගම් නගර සියල්ල වේගයෙන් සංවර්ධනය කරා යොමු වෙමින් පවත්නා මෙම අවස්ථාවේදී මහජනතාවද කිසිදු බියකින් තොර ව දහවල් කාලයේ මෙන් ම රාත‍්‍රියේද ගමන් බිමන්වල නිරත වීම මේ දිනවල දැක ගත හැකි වේ.

වසර ගණනාවකට පසු ව ශ‍්‍රී ලංකාවේ සිදුවෙමින් පවත්නා සංවර්ධනාත්මක වෙනස්වීම්වලට හානි පමුණුවන අයුරින් සමාජය තුළ අනිසි බියක් ඇති කිරීම සඳහා
පෞද්ගලික ප‍්‍රතිලාභ අපේක්ෂා උනන්දුවෙන් කටයුතු කරන ඇතැමුන් මෙසේ කට කතා පතුරුවන බවට තොරතුරු ලැබී ඇත.

”ග‍්‍රීස් යකුන්” සැම තැන සැරිසරන බවට ගෙන යන මෙම අසත්‍ය ප‍්‍රචාරය හේතුවෙන් සමාජයේ තැති ගැන්වීම් ඇති වීමේ ප‍්‍රවණතාවන් දක්නට ලැබෙන අතර මෙසේ සැක
කරනු ලබන පුද්ගලයන් අල්ලා ගත් විට ඔවුනට පහර දෙමින් දැනටමත් මහජනතාව නීතිය සියතට ගැනීමේ අනිසි ඵලවිපාක ද පෙනෙන්නට තිබේ.

සමාජ විරෝධී හෝ නීති විරෝධී ක‍්‍රියාවන්හි නිරතවන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන ඒමට රජය ප‍්‍රමුඛ පොලීසිය සෑම විට ම කටයුතු කරන බැවින් සැක කටයුතු පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඇතොත් ළඟ ම ඇති පොලීසියට හෝ ඒ සඳහා ලබා දී ඇති 118 හෝ 119 යන දූරකතන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

තම අපේක්ෂාවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව හා අවංක ව ළඟා කර ගැනීමට නොහැකි ඇතැම් බලවේග හා සංවිධානාත්මක කණ්ඩායම් විසින් යටි අරමුණින් යුතු ව ගෙන යන මෙවැනි ප‍්‍රචාරාත්මක උපක‍්‍රම හේතුවෙන් සමාජයේ ඇති විය හැකි ව්‍යසනයන් සැලකිල්ලට ගෙන ”ග‍්‍රීස් යකා” යන අන්වර්ථ නාමය කවරාකාරයෙන් හෝ භාවිත කිරීමෙන් වළකින ලෙස මාධ්‍ය වෙතින් ද කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.

මෙසේ එවැනි නම් භාවිත කිරීමෙන් සමාජය තුළ අනිසි බිය ඇති කරවීමේ ඇතැමුන්ගේ කූට උපක‍්‍රමවලට දායක නොවන ලෙසද වැඩි දුරටත් ඉල්ලා සිටී.

මහාචාර්ය ආරියරත්න ඇතුගල
රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්