Sunday, Sep 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන විශේෂ ශ්‍රී ලංකා ඇමරිකා රාජ්‍ය නායක හමුව

ශ්‍රී ලංකා ඇමරිකා රාජ්‍ය නායක හමුව

  • පී.ඩී.එෆ් (PDF)
Image

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ - ජනාධිපති ඔබාමා හමුව සිදුවූයේ නිව්යෝර්ක් නුවර දී ය.

පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ 65 වන මහ මණ්ඩල සමුළුවට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා හමු වූ අවස්ථාවේ ලබාගත් ඡායාරූපය පිළිබඳ ව එක්තරා ජාතික නොවන සති අන්ත පුවත්පතක හා එය හා සම්බන්ධ වෙබ් අඩවි කිහිපයක පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳ ව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත.

 

මෙම මාධ්‍ය හා වෙබ් අඩවිවලට ප්‍රවෘත්ති සපයන්නන් මෙම ඡායාරූපය පිළිබඳ ව ජනතාව නොමඟ යවන සුළු විකෘති අදහස් පළකරනුයේ රාජෝපාය හා ජාත්‍යන්තර තලයේ රාජ්‍ය සබඳතා සිදුවන ආකාරය පිළිබඳ දැනුමක් නොමැති නිසා බැව් කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුයි.

එක්සත් ජාතීන්ගේ සැසිවාරය පැවැත්වෙන අතරතුර ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා විසින් සමුළුවට සහභාගීවන විදේශීය රාජ්‍ය නායකයන් වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ සාදයක් පැවැත්වීම සම්ප්‍රදායකි.

මෙවර මෙම සාදය පවත්වනු ලැබුයේ නිව්යෝර්ක් නුවර පිහිටි ස්වභාවික ඓතිහාසික කෞතුකාගාරයේ දී  ය. මෙම අවස්ථාවට සහභාගී වන විදේශ නායකයෝ ඇමරිකාවේ ජනාධිපතිවරයා සමඟ කෙටි සුහද හමුවක් පැවැත්වීමට ද මෙය අවස්ථාවක් කර ගනිති.

අතීතයේ පටන් ම එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් පමණක් නො ව අනිකුත් රාජ්‍ය නායකයන් ද බොහෝ අවස්ථාවන්හි අමරිකානු ජනාධිපතිවරුන් හමුවීමට අවස්ථාවක් කර ගනුයේ මෙම අවස්ථාවයි.

පසුගිය දා අවසන් වූ 65 වැනි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීමට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එම මැතිනිය ද ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ ආර්යාව මෙම පිළිගැනීමේ අවස්ථාවේදී හමුවී සුහද පිළිසඳරක යෙදුණි. ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර ඉතා සුහද මිත්‍රශීලී සබඳතාවක් හා වෙළෙඳ සහයෝගීතාවක් පවතින අතර ඇමරිකාව සමඟ පවත්නා වෙළෙඳ පරතරය ඇත්තේ ද ශ්‍රී ලංකාවට වාසිවන අයුරින් ය.

විදේශ රාජ්‍ය නායකයන්ගේ දූත කණ්ඩායමට අයත් කිසිදු ඡායාරූප ශිල්පියකුට මෙම අවස්ථාව ඡායාරූපගත කිරීම සඳහා අවසර ලැබෙන්නේ නැත. මෙම ඡායාරූපය, මෙම අවස්ථා‍ව ආවරණය කළ නිල ඡායාරූප ශිල්පියාගෙන් ලබාගත් එකක් වන අතර එය ගැන වෙබ් අඩවියේ ද පළ කොට තිබුණි. රාජ්‍ය නායකයන් දෙදෙනකුගේ හමුවේ දී ලබාගත් මෙම ඡායාරූපය පිළිබඳ ව වැරදි අර්ථකථනයන් හුවා දැක්වීම හෙළාදැකිය යුතු කරුණකි.

තවද මෙම ඡායාරූපය පිළිබඳ ව විකෘති අදහස් පළ කළ වෙබ් අඩවිවල හිමියන් ඒ පිළිබඳ ව තමන්ගේ ඉංග්‍රීසි පිටුවල එහි විස්තර පළ නොකළේ තමන්ගේ මෙම අනුවණ ක්‍රියා ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමෙන් තමන්ගේ දේශපාලන කුහකත්වය ජාත්‍යන්තරය ඉදිරියේ හෙළිවන හෙයින් බව අවධාරණය කළ යුතු ය.

රාජ්‍ය නායකයන් 200ට ආසන්න පිරිසක් සහභාගී වන ලොව ප්‍රබලතම රාජ්‍ය නායක හමුවේ දී එය පැවැත්වෙන රටේ රාජ්‍ය නායකයා වසරක් පාසා ම එම සමුළුවට සහභාගීවන සියලු ම විදේශ නායකයන් හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වනවා යයි යන අනවබෝධයෙන් මෙම මාධ්‍ය හැසිරෙන බව නිරීක්ෂණය වෙයි. ජාත්‍යන්තර ක්‍රියාදාමයන් පිළිබඳ ව මාධ්‍යවේදීන් තුළ තිබිය යුතු අවබෝධය ජනාධිපති බැරක් ඔබාමා ජනාධිපති හමු වූ අදාළ ඡායාරූපය පිළිබඳ ව විකෘති අදහස් ඉදිරිපත් කළ මාධ්‍යවේදීන් තුළ නොමැතිවීම කණගාටුවට කරුණකි.

මහාචාර්ය ආරියරත්න ඇතුගල
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්