Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here The Community ඉවත දමන මත්ස්‍ය කොටස් මුදල් මවන සම්පතක්

ඉවත දමන මත්ස්‍ය කොටස් මුදල් මවන සම්පතක්

  • පී.ඩී.එෆ් (PDF)
fishfeature1
fishfeature2
fishfeature3
fishfeature4
fishfeature5
fishfeature6
fishfeature7
fishfeature8
fishfeature9
fishfeature10
fishfeature11
fishfeature12
fishfeature13
fishfeature14
fishfeature15
fishfeature16
fishfeature17
fishfeature18
fishfeature19

ධීවර කර්මාන්තය මෙරට වෙරළබඩ කලාපයේ වෙසෙන ජනතාවගෙන් බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වේ. පසුගිය වසර කිහිපය සසඳා බලන කළ ධීවර කර්මාන්තයේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබේ. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට අනුව වසර 2000දී මෙට්‍රික් ටොන් 300,380ක් වූ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය වසර 2009දී මෙට්‍රික් ටොන් 339,730ක් විය. මේ අනුව වසර 2016දී ටොන් 493,602ක මත්ස්‍ය නිෂ්පාදනයක් ඉලක්ක කර ඇත.






ටින් කළ මත්ස්‍ය නිෂ්පාදන

මෙම මත්ස්‍ය අස්වැන්න ඍජුව පරිභෝජනය කිරීමට අමතරව මසුන් ආශ්‍රිත විවිධ නිෂ්පාදන රැසක් ද මේ වන විට වෙළෙඳපොළෙහි පවතී. විශේෂයෙන්ම මෙවැනි නිෂ්පාදන සම්බන්ධයෙන් නිරන්තරයෙන් පර්යේෂණ සිදුකරන කාර්මික තාක්ෂණ ආයතනය (ITI) මසුන් ආශ්‍රිත විවිධ නිෂ්පාදන 100ක් පමණ බිහිකර ඇති අතර කරදිය හා මිරිදිය යන මත්ස්‍ය දෙවර්ගයෙන්ම මෙම සියලු නිෂ්පාදන සිදුකළ හැකිය. මෙම නිෂ්පාදන අතර අධිශීත නිපැයුම්, අඹරන ලද නිපැයුම්, විජලිත නිපැයුම්, දුම් ගැසූ නිපැයුම්, පැසවන ලද නිපැයුම් වර්ග මෙන්ම ක්ෂණික නිපැයුම්, ටින් කළ හා බෝතල් කළ නිපැයුම් ද, අගය එකතු කළ අතුරු නිපැයුම් ද වේ.

මෙම නිෂ්පාදන අතර මත්ස්‍ය අස්වැන්නෙන් ප්‍රයෝජනයට නොගෙන ඉවත දමන කොටස් ආශ්‍රයෙන් සිදුකරන නිෂ්පාදන ද තිබේ.

විශේෂයෙන්ම මත්ස්‍ය අස්වැන්නෙන් ප්‍රයෝජනයට ගන්නා ප්‍රමාණය හැරුණු විට 40% - 60% අතර ප්‍රමාණයක් ඉවතලන දෑ වශයෙන් ඉවත් කෙරේ. විශේෂයෙන්ම ටූනා හෙවත් කෙලවල්ලා මත්ස්‍ය කර්මාන්තයේදී මෙන්ම ඉස්සන් කර්මාන්තයේදී ද 40%ක පමණ ප්‍රමාණයක් ඉවත දැමේ. එසේ ඉවත දමන ප්‍රමාණය ද අපතේ නොයන අයුරින් භාවිත කර විවිධ නිෂ්පාදන කළ හැකි නම් එය තම ආර්ථිකයට පමණක් නොව රටේ ආර්ථිකයට ද මහඟු අත්වැලක් වනු නොඅනුමානය. එපමණක් නොව එමගින් රට තුළ නව ව්‍යවසායකයන් බිහිවන අතර මෙරට පවතින රැකියා වියුක්තියට ද එය පිළියමක් වනු ඇත. එහෙත් එසේ ඉවත ලන මත්ස්‍ය කොටස් මගින් එවැනි නිෂ්පාදන සිදුකළ හැකිදැයි ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය.

ෆිෂ් බෝල්ස්                                                මාලු ආශ්‍රිත සැන්ඩ්විච් තැවරුම                                මාලු අච්චාරු


මෙම මත්ස්‍ය කොටස් අතර මිනිස් පරිභෝජනය සඳහා භාවිත කළ හැකි හා භාවිත කළ නොහැකි කොටස් පවතින අතර මෙම සියලුම කොටස් උපයෝගී කරගනිමින් විවිධ නිෂ්පාදන සිදුකළ හැකිය. ඒ අතරින් ඉවතලන මාංශ කොටස් (off cuts) හා ඔළුව ආශ්‍රිතව මිනිස් පරිභෝජනය සඳහා සුදුසු නිෂ්පාදන සිදුකිරීමේ හැකියාව පවතින අතර එවැනි නිෂ්පාදන මේ වන විට වාණිජකරණයට ද ලක්කර ඇත.


ජෙලටින්

ජෙලටින් නිපදවිය හැකි මත්ස්‍ය සම                          ජෙලටින්

විශේෂයෙන්ම මත්ස්‍යයාගේ සම ආශ්‍රිතව ජෙලටින් නිපදවීමේ හැකියාව පවතී. මත්ස්‍ය සම් අතරින් ශ්‍රී ලංකාව තුළ දැනට වාණිජ මට්ටමෙන් භාවිතයට ගත හැකි තත්ත්වයක පවතින්නේ ටූනා හෙවත් කෙලවල්ලා මත්ස්‍යයාගේ සම පමණි. ටූනා මත්ස්‍ය නිෂ්පාදන වැඩි වශයෙන් අපනයනය කරන බැවින් ටූනා සම් බහුල වශයෙන් භාවිත කළ හැකි වුවද කුඩා මත්ස්‍යයන්ගේ සම් නිෂ්පාදන සඳහා යොදාගැනීමට තරම් ප්‍රමාණවත් තරමින් නොලැබේ. තවද ටූනා මත්ස්‍යයාගේ ඉවතලන කොටස් අතරින් සම 5% - 10%ත් අතර ප්‍රමාණයක් ගන්නා බැවින් ද එම සම් බහුල වශයෙන් පවතී. එබැවින් ‍මත්ස්‍ය සම මගින් මෙම නිෂ්පාදනය සිදුකළ හැකි අතර වෙළෙඳපොළ තුළ පවතින අනෙකුත් ජෙලටින් වර්ග සමඟ සැසඳීමේදී මෙම මත්ස්‍ය ‍ජෙලටින් වර්ගයෙහි වර්ණය, සුව‍‍ඳ, රසය ආදී භෞතික ගුණාංගයන්හි සැලකිය යුතු වෙනසක් දැකිය නොහැකිය. අනෙක් අතට මත්ස්‍ය සම මගින් සත්ත්ව ආහාර නිපදවනවාට වඩා වැඩි වටිනාකමක් ජෙලටින් නිපදවීමෙන් ලබාගත හැකිය.මේ වන විට ගව හා සූකර අස්ථි හෝ මුහුදු පැළෑටි ආශ්‍රයෙන් ජෙලටින් නිපදවයි. මෙකී අස්ථි මගින් නිපදවන ජෙලටින් භාවිතයේදී සැලකිලිමත් විය යුතු ඇතැම් කරුණු පවතී. යම් හෙයකින් ජෙලටින් නිපදවීමේදී පිස්සු ගව රෝගය (BSE – Mad Cow Disease) වැළඳුණු ගවයන්ගේ අස්ථි ද උපයෝගී කරගනු ලැබුවහොත් එම නිෂ්පාදනය පරිභෝජනය කරන්නන් ද රෝගී තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතී. මීට අමතරව විවිධ සංස්කෘතිකමය කරුණු මත හලාල් ආහාර සඳහා ද මෙම ජෙලටින් යොදා නොගනී. මෙවැනි තත්ත්වයන්ට විසඳුමක් ලෙස මත්ස්‍ය සම මගින් ජෙලටින් නිෂ්පාදනය කිරීම විකල්පයකි. මත්ස්‍ය සමෙහි ජෙලටින් නිෂ්පාදනයට අවශ්‍ය සංඝටකය වැඩි වශයෙන් පවතී. මෙම නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණය ද මේ වන විට සොයාගෙන ඇත.

මෙම ජෙලටින් නිපදවීමේ තාක්ෂණය මේ වන විට ITI ආයතනය විසින් විදේශීය රාජ්‍යයක් වෙත පවරා දෙනු ලැබ ඇත. මෙය මිනිස් පරිභෝජනය සඳහා යොදාගන්නා බැවින් ඉතා සෞඛ්‍යාරක්ෂිත ලෙස විධිමත් අධීක්ෂණයක් යටතේ නිපදවිය යුතුය. එසේම මේ සඳහා සාපේක්ෂ වශයෙන් විශාල මූලික පිරිවැයක් අවශ්‍ය වේ.

මීට අමතරව ඖෂධ කර්මාන්තය සඳහා ද මෙම ජෙලටින් භාවිත කළ හැකි අතර විශේෂයෙන්ම ඖෂධ කරල්වල (capsules) පිටත කො‍පුව සෑදීම සඳහා මෙය යොදාගත හැකිය. මෙය ඖෂධ ශ්‍රේණියට (pharmaceutical grade) යටත්වන ‍‍පරිදි සිදුකළ යුතු බැවින් මෙම නිෂ්පාදනය සඳහා දැරිය යුතු මූලික පිරිවැය ඉහළ මට්ටමක පවතී. එබැවින් මහා පරිමාණ ව්‍යවසායකයෙකු සඳහා එය වඩාත් යෝග්‍ය වේ. මෙය ඉතා ඉහළ වටිනාකමක් ලබාගත හැකි නිෂ්පාදනයකි.


මත්ස්‍ය තෙල්

මත්ස්‍ය තෙල් නිපදවීමට ගන්නා මෝර අක්මාව                            මත්ස්‍ය තෙල්

සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට නොගෙන ඉවත ලන මත්ස්‍ය අක්මාව උපයෝගී කරගනිමින් තෙල් නිස්සාරණය කිරීම පිළිබඳව පර්යේෂණ කොට ඒ පිළිබඳ තාක්ෂණය ද මේ වන විට වර්ධනය කර තිබේ. ඒ අනුව මත්ස්‍ය තෙල් පිරිපහදු කිරීම මේ වන විට වාණිජ මට්ටමෙන් සිදුකෙරේ. මත්ස්‍යයන් අතර විශේෂයෙන්ම මෝරාගේ අක්මාවේ ඇති තෙල් ප්‍රමාණය ඉතා අධිකය. මෙම මත්ස්‍ය තෙල්වල ඔමේගා-3 වැනි මිනිස් ශරීරයට හිතකර මේද අම්ල අන්තර්ගතව පවතී. මෙම මත්ස්‍ය තෙල්, පොල් තෙල් හෝ එළවළු තෙල් සමඟ මිශ්‍ර කොට දෛනිකව පරිභෝජනය කළ හැකි ආකාරයෙන් ‘blended oil’ නමින් නිෂ්පාදනය කර ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ දිනකට ශරීරයට අවශ්‍ය හිතකර මේද අම්ල ප්‍රමාණය ශරීරයට ලැබෙන ආකාරයෙන් මෙය නිෂ්පාදනය කර තිබීමයි. මීට අමතරව ඍජුව පරිභෝජනයට ගත හැකි කරල් ආකාරයෙන් (oil capsules) ද මත්ස්‍ය තෙල් වෙළෙඳපොළට යැවිය හැකිය.


ඔමේගා - 3 සරු කළ බිත්තර

Omega 3 සරුකළ බිත්තර
සරු කළ බිත්තර දැනට අපේ රටේ නොමැති වුවත් අනෙකුත් රටවල ඉතා ප්‍රචලිත නිෂ්පාදනයකි.අප ප්‍රෝටීන් ලබාගන්නා ප්‍රධාන ක්‍රම අතරින් බිත්තර සඳහා හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. එහෙත් වැඩි වශයෙන් බිත්තර පරිභෝජනයේදී ඇතිවන ගැටළු අතර කොලෙස්ට්‍රෝල්වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. සාමාන්‍යයෙන් බිත්තරයක‍් තුළ ඔමේගා-3 මේද අම්ල සහ ඔමේගා-6 මේද අම්ල අතර අනුපාතය 1:20 පමණ වේ.  මේ නිසා ශරීරයට හිතකර ඔමේගා-3 ප්‍රමාණය වැඩි කිරීම සඳහා දේශීය අමුද්‍රව්‍ය ආශ්‍රයෙන් පර්යේෂණ සිදුකර ඇත. ඔමේගා-3 සරු කළ බිත්තර (omega-3 enriched eggs) නිෂ්පාදනය කිරීම මගින් බිත්තරයේ ගුණාත්මක අගය වැඩි වේ. මෙවැනි බිත්තරයක්  තුළ සාමාන්‍ය බිත්තරයක‍ ඇති ඔමේගා-3 ප්‍රමාණය මෙන් තුන් ගුණයක් අන්තර්ගත වේ. තවද ඔමේගා-3 : ඔමේගා-6 අනුපාතය 1:6 ලෙස අඩුකර ඇති අතර එය සුවිශේෂ අවස්ථාවක් ලෙස ද දැක්විය හැකිය. එපමණක් නොව සාමාන්‍ය බිත්තරයකට වඩා මෙවැනි  බිත්තරයක‍ පවතින කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය සාපේක්ෂව අඩුය.

සත්ත්ව ආහාර සඳහා ගත හැකි මත්ස්‍ය සයිලේජය
මත්ස්‍ය සයිලේජය
මත්ස්‍ය සම, කරමල්, බඩවැල්, ඔලු, වරල් ‍ආදී කොටස්  උපයෝගී කරගනිමින් සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කෙරේ. මේ අතරින් මත්ස්‍ය සයිලේජය (fish silage) ප්‍රධාන වේ. එය අඩු වියදමකින් අඩු තාක්ෂණයක් මගින් කරගත හැකි නිෂ්පාදනයකි. මේ වන විට බේරුවල ධීවර වරායේ මෙය සිදුකරගෙන යයි. මෙය මත්ස්‍යයන්ගේ ඉවත දමන ඕනෑම කොටසකින් නිෂ්පාදනය කළ හැකි අතර ප්‍රධාන වශයෙන්ම සූකර, මත්ස්‍ය හා කුකුළු ආහාර නිෂ්පාදනයේදී මෙය යොදාගත හැකිය. මෙම මත්ස්‍ය සයිලේජය දියරක් ලෙස පවතින බැවින් එවැනි තත්ත්වයක් යටතේ එය ප්‍රවාහනය කිරීම අපහසුය. එබැවින් අඩු වියදමෙන් හා පහසුවෙන් එය වියළි සයිලේජයක් බවට පත්කිරීම සඳහා තාක්ෂණ ක්‍රමවේදයක් වැඩිදියුණු කර ඇති අතර ඒ සඳහා පේටන්ට් අයිතිය ද ලබාගෙන තිබේ.

මෙම සයිලේජයේ දියරමය ස්වභාවය හේතුවෙන් එය සත්ත්ව ආහාර සඳහා යොදාගත හැක්කේ ද සීමාසහිතවය.  එහෙත් එය වියළි තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව  සත්ත්ව ආහාර සඳහා වැඩි ප්‍රමාණයක් එකතු කිරීමේ හැකියාව පවතී. මෙය මේ වන විට මෙරට සත්ත්ව ආහාර සඳහා  ප්‍රධානතම ප්‍රෝටීන් ප්‍රභවය ලෙස භාවිත කරන fish meal වෙනුවට යොදා ගත හැකි ආදේශකයකි. දැනට ශ්‍රී ලංකාවේ fish meal නිෂ්පාදනය නොකරන අතර විදේශයන්ගෙන් ‍ආනයනය කරයි. දැනට වෙළෙඳපොළ තුළ fish meal කිලෝවක් රුපියල් 300ක් පමණ වන නමුත් මෙම මත්ස්‍ය සයිලේජ මගින් සිදුකරන නිෂ්පාදන රුපියල් 15ක් වැනි සුළු මුදලකට ලබාදීමේ හැකියාව පවතී. එපමණක් නොව එය සත්ත්වයාට අහිතකර නොවන අතර සත්ත්ව‍යාගේ වර්ධනය කෙරෙහි ද වැඩි බලපෑමක් ඇති කරයි. මෙය ඉතා අඩු වියදමකින් සිදුකළ හැකි ලාභදායක ව්‍යාපෘතියකි.

මාළු කුඩු - Fish Powder

මත්ස්‍යයන්ගේ ඉවත දමන කොටස්වලින් සිදුකරන තවත් නිෂ්පාදනයක් වන මෙය fish meal සඳහා තවත් ආදේශකයක් වන අතර මෙය දැනට වාණිජකරණය කර තිබේ. මෙම නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූලික පිරිවැය ඉහළ මට්ටමක පවතී. තවද මත්ස්‍ය සයිලේජය නිෂ්පාදනයට වඩා සූක්ෂ්ම යන්ත්‍රසූත්‍ර මෙන්ම තාක්ෂණය ද මීට අවශ්‍යය. සාමාන්‍යයෙන් දිනකට ඉවතලන මත්ස්‍ය කොටස් ටොන් 2ක්, 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක්රැස් වන ස්ථාන සඳහා මෙය යෝග්‍ය වේ. මෙය වියළි නිෂ්පාදනයක් වන බැවින් ප්‍රවාහනයේදී ගැටළු ඇති නොවේ.

කයිටීන් හා කයිටොසාන්

ඉස්සන්ගේ පොතු මගින් නිපදවන කයිටොසාන්

කයිටොසාන් ආශ්‍රයෙන් නිපදවන ලද දිලීර නාශකය
ඉස්සන් කර්මාන්තය තුළ ද අනවශ්‍ය දෑ බොහෝ ප්‍රමාණයක් ඉවත් වනු දැකිය හැකිය. ඉස්සන්ගේ පොත්තෙහි හා ඔළුවෙහි බහුලව ඇති සංඝටකය කයිටීන්ය. ඒ අනුව ඉස්සන්ගේ ඔළුවෙන් කයිටීන් නිස්සාරණය කරගත හැකි ක්‍රමයක් වැඩිදියුණු කරමින් එය වඩා වැදගත් සංයෝගයක් වන කයිටොසාන්වලට පරිවර්තනය කළ හැකි ක්‍රමයක් ද සොයාගෙන ඇත. විශේෂයෙන්ම කයිටොසාන් බොහෝ දේ සඳහා භාවිත කළ හැකි ඉතා ප්‍රයෝජනවත් සංයෝගයකි. මේ අතරින් ඖෂධ කර්මාන්තය තුළ ඖෂධ කරල් කො‍පු (capsule covers) නිපදවීම සඳහා මෙය භාවිත කළ හැකිය. ආහාර කල්තබාගත හැකි පටලයක් ලෙස කයිටොසාන් භාවිත කළ හැකි අතර මෙහි දිලීර නාශක හැකියාවක් ද පවතී. මෙම පටලය ආහාර එතීම සඳහා භාවිත කළ හැකි අතර එහි ඇති විශේෂත්වය වන්නේ එම පටලය සහිතවම අදාළ ආහාරය අනුභව කළ හැකි වීමයි. විශේෂයෙන්ම චීස් වැනි ආහාර එතීම සඳහා භාවිත කළ හැකි එම පටලයෙන් ශරීරයට කිසිදු හානියක් සිදුනොවේ. ඒ ආකාරයෙන් කයිටොසාන් පටලයක් සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණය ද මේ වන විට වැඩිදියුණු කර ඇත.

එපමණක් නොව අප ජලය පිරිසිදු කරන ෆිල්ටරයක් ලෙස ද මෙය උපයෝගී කරගත හැකි අතර ඡායාරූප කර්මාන්තයේදී ද මෙය භාවිත වේ. මීට අමතරව කයිටීන් පොහොරක් ලෙස ද, සත්ත්ව ආහාර සංඝටකයක් ලෙස ද යොදාගත හැකිය. එසේම මෙහි ඇති දිලීර නාශක ගුණය නිසා ගස්ලබු ගෙඩියේ හටගන්නා දිලීර (සුදු පුස් රෝගය) මර්දනය සඳහා කයිටොසාන් උපයෝගී කරගනිමින් සංයෝගයක් නිපදවා ඇත. මෙම සංයෝගය මගින් මේ වන විට උසස් ප්‍රතිඵල අත්කර ගෙන ඇත.


හයිඩ්‍රොජෙල්

තවද කයිටොසාන් ආශ්‍රිතව පිළිස්සුම් තුවාල සඳහා භාවිත කළ හැකි හයිඩ්‍රෝ ජෙල් (hydrogel) නිෂ්පාදනය කිරීමේ තාක්ෂණයක් ද පවතී. මෙය විකිරණයට (irradiation) භාජනය කළ නිපැයුමකි. හයිඩ්‍රෝ ජෙල් දැනට වෙළෙඳපොළ තුළ  තිබුණ ද එම නිෂ්පාදනවල මිල ගණන් ඉතා අධිකය. මෙමගින් සාමාන්‍යයෙන් තුවාලයක් සුවවීමට ගතවන කාලයට වඩා අඩු කාලයක් තුළ තුවාල සුව වන බව සත්ත්ව පරීක්ෂා මගින් සනාථ වී ඇත.

මෙම නිෂ්පාදන සඳහා ද ඉහළ තාක්ෂණයක් අවශ්‍ය  වේ. එබැවින් ඉස්සන්ගේ ඉවත ලන දෑ ද උපයෝගී කරගනිමින් අ‍ඩු පිරිවැයක් යටතේ වුවද කළ හැකි නිෂ්පාදන සම්බන්ධයෙන් ද අවධානය යොමුකර පර්යේෂණ සිදුකර ඇත. ඒ අනුව සත්ත්ව ආහාර නිපදවීම සඳහා මෙය භාවිත කළ හැකි අතර ඉස්සන්ගේ ඉවත ලන කොටස් මගින් ද මත්ස්‍ය සයිලේජය මෙන් සයිලේජයක් නිපදවීමේ තාක්ෂණයක් මෙන්ම කූනිස්සන්ගේ ආහාර (shrimp meal) නිපදවීමේ තාක්ෂණය ද වැඩිදියුණු කර ඇත.

මත්ස්‍ය අස්ථි හා කාටිලේජ

පිරිසිදු කළ මෝර කාටිලේජය                     පිරිසිදු කළ මත්ස්‍ය අස්ථි                                    මත්ස්‍ය අස්ථි පවුඩර්


මත්ස්‍ය අස්ථි භාවිත කර කැල්සියම් පවුඩර් සකස් කළ හැකි ක්‍රමයක් ද සොයාගෙන ඇති අතර එය ඔස්ටියෝපොරෝසිස් රෝගය සඳහා ඖෂධයක් ලෙස භාවිත කළ හැකිය. මෙය ද ඉතා සෞඛ්‍යාරක්ෂිතව සිදුකළ යුතු බැවින් විශාල පිරිවැයක් දැරිය යුතුය. මීට අමතරව සුළු පරිමාණයෙන් කළ හැකි ආකාරයට bone meal නම් නිෂ්පාදනයක් වැඩිදියුණු කර ඇති අතර සත්ත්වයන්ට අවශ්‍ය කැල්සියම් සහ ප්‍රෝටීන් ලබාදීම සඳහා මෙය සත්ත්ව ආහාරවලට එකතු කළ හැකිය.

මීට අමතරව මෝරා වැනි මත්ස්‍යයන්ගේ ඔළුවේ කාටිලේජ බහුලව පවතී. මෙම කාටිලේජය භාවිත කර සත්ත්ව ආහාර නිපදවිය හැකි වුවත් ඊට වඩා වැඩි වටිනාකමක් ලබාගැනීම පිණිස කාටිලේජය පිරිසිදු කරගත හැකි ක්‍රමයක් වැඩිදියුණු කර තිබේ. ආතරයිටීස් රෝගීන්ට ලබාදෙන ප්‍රධාන ඖෂධයක් නිපදවීම සඳහා මත්ස්‍ය කාටිලේජ යොදාගැනේ.


මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත පුහුණු වැඩමුළුවක්
මෙවැනි නිෂ්පාදන ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන ව්‍යවසායකයන් වේ නම් ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම හා උපදෙස්, පුහුණුව, කම්හල් පිහිටුම් සැලසුම්, යන්ත්‍රසූත්‍ර හා උපකරණ සඳහා පිරිවිතර, සැකසුම් උපකරණ, යන්ත්‍ර, ඇසුරුම් ද්‍රව්‍ය සපයා ගැනීම පිළිබඳ තොරතුරු මෙන්ම වෙළෙඳපොළ අත්හදා බැලීම් සඳහා නිපැයුම් සාම්පල් ලබාදීම ද ඇතුළු සේවා සපයමින් සහයෝගය ලබාදීමට කාර්මික තාක්ෂණ ආයතනය නිබඳවම සූදානමින් සිටී.

සටහන: කුංචන මහේෂි බුද්ධිකා

විශේෂ ස්තුතිය:

ජේ.ඩී. මදනායක මහතා - කර්මාන්ත සම්බන්ධීකරණ නිලධාරී, කාර්මික තාක්ෂණ ආයතනය

සමන්ත මැදගේ මහතා - පර්යේෂණ නිලධාරී, කාර්මික තාක්ෂණ ආයතනය

ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය - ජ්‍යෙෂ්ඨ තාක්ෂණ නිලධාරී, කාර්මික තාක්ෂණ ආයතනය