Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here The Community තෛපොංගල් - තමිලර් තිරුනාල්

තෛපොංගල් - තමිලර් තිරුනාල්

  • පී.ඩී.එෆ් (PDF)

Pongal"අස්වැන්න නෙළීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතාව විසින් සෑම වසරක දී ම සමරනු ලබයි. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුර යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස මොවුන් සලකයි.

තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්යාභ්‍රමණය වීම ආරම්භ වේ. දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පූජා කිරීම සුර්ය මංගල දිනයේ දී කරනු ලැබේ. මෙම උත්සවය දමිළ ජනයා සඳහා පමණක් ම වෙන් වුවක් නො වේ. මහා භාරතයේ සඳහන් වන පරිදි එය මුළු ඉන්දියානු ජනතාවට ම පොදු චාරිත්‍රයකි.

පොංගල් උත්සවය ඉන්දියාවේ තමිල්නාඩු වැසියන් හා ලෝවැසි සියලු දමිළ ජාතිකයින් විසින් සමරනු ලැබේ. දමිළ ජාතිකයින් වෙසෙන වෙනත් රටවල්, එනම් ශ්‍රී ලංකාව, මැලේසියාව, මොරිෂස්, දකුණු අප්‍රිකාව, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ සිංගප්පූරුව යන රටවල් ද මෙම උත්සවය සමරනු ලබයි.

දමිළ ජනතාව පොංගල් උත්සවය හඳුන්වනු ලබනුයේ 'තමිලර් තිරුනාල්' යනුවෙනි ('දමිළ ජනතාවගේ උත්සවය' යන්න එහි තේරුමයි ). මෙම උත්සවයේ මුලාරම්භය සිදු වුයේ තමිල්නාඩුවේ ය.

'තායි පිරන්ඩල් වාලි පිරක්කුම්' නමැති දමිළ කියමන මෙම උත්සව කාලයේ බෙහෙවින් උපුටා දක්වනු ඇත. මෙහි තේරුම වනුයේ "තායි මාසයේ උපත නව මහඟු අවස්ථා සඳහා මඟ පාදනු ඇත" යන්නයි.

තෛපොංගල් උත්සවය මාර්ඝාසි නම් වු දමිල මාසයේ අවසාන දිනයේ සිට (දෙසැම්බර් - ජනවාරි ) දින සතරක් පුරාවට , තායි මාසයේ තුන්වැනි දිනය දක්වා (ජනවාරි - පෙබරවාරි ) සමරනු ලබයි.

උත්සවයේ පළමු දින, එනම් 'භෝඝි' ලෙස හඳුන්වන මෙදින ජනතාව තමන් පාවිච්චි කරන ලද පැරණි වස්ත්‍ර හා රෙදිපිළි පිළිස්සීමෙන් පැරණි වසරේ අවසානය සනිටුහන් කිරීමත් සමගින් ම නව ‘තායි‘ වසර පිළිගැනීම ද සමරනු ලබයි.

පොංගල් යනුවෙන් හැඳින්වෙන දෙවන දින මෙම සැමරුමේ ප්‍රධාන දිනය වන අතර මෙදින වැටෙනුයේ "තායි" නම් වු දෙමළ මාසයේ පළමු වන දිනේදී ය (ජනවාරි 14- 15). සර්කාරෙයි හෝ වීටු පොංගල් යනුවෙන්ද හඳුන්වන ලබන මෙදින සමරනු ලබනුයේ අලුත් මුට්ටියක බත්, හකුරු හා නැවුම් එළකිරි උතුරා පිස ගැනීමෙනි. මෙලෙස පිසගත් ආහාරය පසු ව දුඹුරු සීනි, කජු හා වියළි මිදි යොදා ගනිමින් අලංකාර කර ගනු ලැබේ.

පොංගල් යන නාමය ලැබී ඇත්තේ ඉහත සඳහන් කරන ලද උතුරා යාමේ චාරිත්‍රය මුල් කොටගෙන ය. මෙම බත් මිශ්‍රණය උතුරා භාජනයෙන් පිටතට හැලී යාමේ දී චාරිත්‍රයක් වශයෙන් දමිළ ජනතාව "පොංගාලෝ... පොංගාල්..." යනුවෙන් ශබ්ද නඟා කෑගසමින්, "සංගු" යන සංගීත භාණ්ඩය ද වාදනය කරනු ලබයි. මේ චාරිත්‍රය අනුගමනය කිරීමෙන් බලාපොරොත්තු වනුයේ නව වසර සෞභාග්‍යමත් වසරක් බවට පත් කර ගැනීමයි.

මෙලෙස පිසගත් බත් මිශ්‍රණයේ පළමු කොටස හිරු උදාවත් සමඟ ම ස්වභාවධර්මයාට පුදනු ලැබේ. මෙම පිදීමෙන් ඔවුන් තමන්ට මෙතෙක් ලබා දුන් සෞභාග්‍යයට හිරුට හා ස්වභාවධර්මයාට තුති පුදන අතර ඉතිරි කොටස නිවැසියන් සමග බෙදාගනු ලැබේ. තව ද මෙම දිනයේ දී නෑගම් යෑම හා එකිනෙකා සමඟ සුබ පැතුම් හුවමාරු කර ගැනීම ද දැකිය හැක. විශේෂයෙන් මෙම උත්සව කාලයේ දී නොයෙකුත් වර්ගයේ ආහාර හා රස කැවිලි වර්ග සාදන අතර වඩේ, මුරුක්කු, පායාස්ම් වැනි ආහාර විශේෂ තැනක් ගනී.

තුන්වැනි දිනය, එනම් මාට්ටු පොංගල් යනුවෙන් හඳුන්වන මෙදින විශේෂයෙන් වෙන්වී ඇත්තේ ගවයන්ට තුති පිදීම සදහාය. ගවයන් ගොවිතැනේ දී ගොවියන්ට ලබා දෙන මහඟු සේවය අගය කිරීම මෙහි පරමර්ථය වේ. මෙදින ගවයන් අලංකාර ලෙස මල් මාලා, තීන්ත හා සීනු යොදා ගනිමින් සරසන අතර සමහරු රත්රන් හා තඹ කොපු යොදා ගනිමින් ගවයන්ගේ අං සැරසීම ද කරනු ලබයි. මේ දිනයේ දී ගවයන්ට නිදහසේ සැරිසැරීමට ඉඩ ලබාදෙන අතර විශේෂ ආහාර හා රස කැවිලි වර්ග ද දෙනු ලැබේ. ඇතැම් ප්‍රදේශවල විශේෂයෙන් ගම්බද ව "ජල්ලිකාට්ටු" හෙවත් මී හරකුන් හීලෑ කිරීමේ තරග ද මෙම දිනයේ විශේෂ තැනක් ගනී.
Pongal_Festival
අවසාන දිනය කානුම් පොංගල් ලෙස හඳුන්වයි. මෙදින (කානුම් යනු 'නැරඹීමට' යන අර්ථය ඇතිව ) ජනතාව තම නෑදෑ හිතමිතුරන් බැලීමට යාම සිදුවේ. නාගරික ප්‍රදේශවල මෙම දිනයේදී ජනතාව තම පවුලේ සාමාජිකයින් සමඟ මුහුදු වෙරළට සහ සතුටු උද්‍යානවලට යමින් පොංගල් උත්සවය සැමරීම දැකිය හැක. මෙම කාලයේ දී "කෝළම්" ලෙස හැදින්වෙන විශේෂ සැරසිලි යොදා ගනිමින් ගෙමිදුල් අලංකාර ලෙස සැරසීම ද දැකිය හැක. අස්වැන්න නෙළා ගැනීමට කළ උපකාරයට තම් නෑදෑ හිතමිතුරන්ට ස්තූති කිරීමට ද මෙදින වෙන් වී ඇත. මුල් කාලයේදී මෙම උත්සවය ගොවි ජනයාට පමණක් සීමා වුවද අද මෙය ජාති, ආගම්, කුළ භේදවලින් තොර ව සියලුම දමිළ ජනයාගේ ජාතික උත්සවයක් බවට පත් ව ඇත. මෙම උත්සවය ගම්බද ප්‍රදේශවල ද නාගරික ව මෙන් ම සුප්‍රසිද්ධ උත්සවයකි.

පොංගල් උත්සවය දින 3-4ක් පුරා දිවෙන අතර, මෙම දිනයන් ජාතික නිවාඩු දිනයන් ලෙස ද රජය විසින් ප්‍රකාශ කරනු ඇත. තෛපොංගල් උත්සවය තමිල්නාඩුවේ සමරන උත්සව අතරින් අති විශේෂ ස්ථානයක් ගනී.

- විකිපීඩියා ඇසුරෙනි