Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here The Community සුපිරි ගමක් - සපිරි රටක් තනා ආසියාවේ ආශ්චර්යය කරා

සුපිරි ගමක් - සපිරි රටක් තනා ආසියාවේ ආශ්චර්යය කරා

  • පී.ඩී.එෆ් (PDF)

Gewatu_1අනාදිමත් කාලයක සිට කෘෂිකර්මාන්තය තම ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගනිමින් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත ව සිටි ශ්‍රී ලාංකික ජනතාවට කෘෂිකර්මාන්තය නුහුරු නුපුරුදු කර්මාන්තයක් නො වේ.

2008 වර්ෂයේ දී ගොවි ජනතාවගේ යහපත වෙනුවෙන් මාවිල්ආරුවෙන් ආරම්භ කළ මෙහෙයුම සාර්ථක ව අවසන් කිරීමට වත්මන් රජයට හැකි විය. එම මෙහෙයුමෙන් සමස්ත මාතෘ භූමියට ම උදා කළ නිදහස අප නො අඩු ව අත්විඳිමින් සිටින්නෙමු. එහෙත් අද ත්‍රස්තවාදය ජයග්‍රහණය කිරීම තරමට ම  භාරදුර කාර්යයක් සමස්ත රට වැසියාට මෙන් ම වත්මන් ආණ්ඩුව වෙත ද පැවරී ඇත. ඒ වෙන යමක් නො ව ආර්ථික යුද්ධය ජය ගැනීමයි. වසර 30ක් පුරාවට ලොව ම භීතියට පත් කරමින් උතුරු, නැගෙනහිර රජ කරමින් තිබූ ත්‍රස්තවාදය පරාජය කළ වත්මන් රජයට, ආර්ථික යුද්ධය ජය ගැනීම මහා ලොකු අභියෝගයක් නම් නො වනු ඇත.

පසුගිය වසරේ දී අප වෙත උදාකර දුන් නිදහස් රට ස්වයංපෝෂිත රටක් බවට පත් කිරීමේ වගකීම අද පැවරී ඇත්තේ වත්මන් රජයට මත ම නො ව මෙරට ගොවි ජනතාව අතය. රජයක් වශයෙන් ඒ සෑම දෙයක් වෙනුවෙන් ම පිටුපසින් සිටිමින් ‍ගොවි ජනතාව ධෛර්යමත් කිරීමේ කාර්යය ඔවුන් අද මෙන් ම හෙටත් කරනු ඇත.

ak080811

ගොවියා රජ කරවන්නට වත්මන් රජය අඩිතාලම් දැම්මේ වී ගොවියා වෙත පොහොර සහනාධාරය ලබා දෙමිනි. එතැනින් නොනැවතුණු ලක් රජය තේ, රබර් මෙන් ම පොල් වගාකරුවන්ට ද පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කළේය. නොබෝ දිනකින් එළවළු ගොවියාට ද මේ සහනාධාරය ලබාදීමට මේ වනවිට රජය තීරණය කර තිබේ.


ඒ සමඟ ම රජය තවත් අති දැවැන්ත කාර්යයකට අත ගසා ඇත. ඒ ‍ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයකට පණ පෙවීමේ අති දැවැත්න ව්‍යායාමයට ය. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ප්‍රමුඛ අමාත්‍යංශ 17ක එකතුවෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළෙහි ඒකායන අරමුණ වී ඇත්තේ නීරෝගී හා ආර්ථික වශයෙන් සවිබල ගැන් වු පවුල් සිටින සපිරි ගමක් නිර්මාණය කිරීමයි.


ඕනෑ ම රටක ජනතාව ඔවුනට අවශ්‍ය ආහාර ඔවුන් විසින් ම නිපදවාගන්නේ නම් ඕනෑ ම අභියෝගයකට හා දුර්භික්ෂයකට මුහුණ දීමට එම ජනතාවට හැකි වනු ඇත. අතීතයෙන් අපට ගත හැකි හොඳ ම උදාහරණය නම් බැමිණිටියාසාය ඇති වූ අවස්ථාවේ වුව ද මහා විහාරයේ පමණක් භික්ෂුන් වහන්සේ 12,000කට ප්‍රමාණවත් සහල් ගබඩා කොට තිබීමයි. එවැනි දුරදක්නා නුවණින් අතීතයේ සිට කටයුතු කළ ජන කොට්ඨාසයක් වන අප වර්තමානයේ ද ක්‍රියා කළ යුතු වන්නේ අපේ අතීත හෙළයා ක්‍රියාත්මක වු ආකාරයෙනි.


එදා බටහිරගැති ආණ්ඩු දේශීය කෘෂි ආර්ථිකය විනාශ කර දැම්මේය. 60/70 දශකවල දී පාන් සඳහා ගෙන් වු තිරිඟු පිටි වෙනුවෙන් අදට ද අප ණය ගෙවන්නෙමු. එසේ විනාශ වු අපේ කෘෂිකර්මාන්තය යළි නඟා සිටුවමින් රට ස්වංපෝෂිත ආර්ථිකයක් කරා ගෙන යෑමේ වැඩපිළිවෙළ රජය දැන් අරඹා ඇත. අප කළ යුත්තේ එයට අකුල් හෙළීම නො ව එය නඟා සිටුවීමට ශක්තිය ලබා දීමය. ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුම සේ ම සංවර්ධන මෙහෙයුම ද රජය ඒකාන්තයෙන් ම ජය ගන්නා බව නිසැක ය.

Unit_24

ඉදිරියේ දී ඇතිවන ආහාර අර්බුදය සඳහා දැන් සිට ම සූදානම් වුවහොත් එය ජය ගැනීමට අපහසු කාර්යයක් නො වනු ඇත. ශ්‍රී ලංකාව සතු සශ්‍රීක භූමියත්, වගාවන්ට හා සත්ත්ව නිෂ්පාදනයට හිතකර දේශගුණයත් ආහාර නිෂ්පාදන කාර්යයේ දී වඩා වැදගත් වේ. එහෙත් මුළු රට ම ඒ සඳහා පෙළගැස්වීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍ය වේ. වසර 30ක යුද්ධය ජයගත නොහැකි යැයි අප තුළ තිබූ විශ්වාසය පහ කරමින් ජයග්‍රාහී මානසිකත්වයක් ජනතාවට කාවද්දමින් මුළු රට ම එක ම අරමුණකට, බලාපොරොත්තුවකට පෙළගස්වමින් යුද්ධය ජයග්‍රහණය කිරීමට මෙරට වත්මන් නායකයාට හැකි විය.


සම්පත් පිරුණු සමෘද්ධිමත් ගමක් නිර්මාණය කර ආහාර අර්බුදය ජය ගනිමින් ස්වයංපෝෂිත ජාතියක් දැයට උරුම කරලීමේ භාරදූර කාර්යය වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන ක්‍රියා කරමින් සිටී.

 

Unit_25

මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව ගෘහ ආර්ථික ඒකක දසලක්ෂය බිහිකිරීමේ කාර්යයයේ මූලික කටයුතු මේ වන විට ආරම්භ වී ඇත. එය දිවයිනේ සියලු ගම්මාන ආවරණය වන පරිදි ගෙවතු, සත්ත්ව පාලනය, ගෘහ කර්මාන්ත හා ධීවර යන අංශයන්ගෙන් සමන්විත ශක්තිමත් ආර්ථික ඒකක දස ලක්ෂයක් වනු ඇත.


‘දිවි නැගුම’ නමින් ක්‍රියාත්මක වන ගෘහස්ථ ආර්ථික ඒකක දසලක්ෂයේ වැඩ සටහන ක්‍රියාවට නැංවීම සඳහා 50,000කට අධික රාජ්‍ය නිලධාරි බලකායක් තෝරා ගෙන ඇත. ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිහූ ගම් මට්ටමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නෝ වෙති.


ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අදාළ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා මෙහි අධීක්ෂණ කටයුතු සිදුකරයි. මේ ජාතික වැඩසටහනේ දිස්ත්‍රික්, පළාත් හා ජාතික මට්ටමේ ප්‍රගති සමාලෝචනයක් ද සිදු කෙරේ. මෙම පවුල් දසලක්ෂයේ සෑම පවුලක් සඳහා ම රුපියල් 10,000ක මුදලක් වෙන් කෙරේ. ඒ තුළින් ඔවුන්ට අවශ්‍ය පැළ වර්ග, බීජ, පොහොර හෝ සතුන් මිලදී ගැනීමට හැකිවනු ඇත.


‘දිවි නැගුම’ තුළින් පවුලේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම, ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම, දෛනික ජීවන වියදම අවම කිරීම, අමතර ආදායම් මාර්ග බිහිකිරීම රජයේ අපේක්ෂාවයි.

590-px3

ආහාර වගාවෙන් නො නවතින යම් පවුලක් වෙත් නම් ඔවුන්ට කුඩා කර්මාන්තයකට යොමුවීමට අවශ්‍ය දැනුම හා ප්‍රාග්ධනය ද ලබාදීමට ද ආර්ථික සංවර්ධන අමාත්‍යංශය  සූදානම් ව සිටියි.


‘දිවි නැගුම’ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේදී ගමට අවශ්‍ය සියලු දෑ ගම තුළින් ම නිෂ්පාදනය කර ගැනීමට අවධානය යොමුකර ඇත. ගමට අවශ්‍ය එළවළු, කිරි, බිත්තර, මස් හා මාළු සහ එම ප්‍රදේශවලට ආවේණික හා එම ප්‍රදේශවල කළ හැකි කර්මාන්ත කෙරෙහි වැඩි අවධානයක් යොමු වේ. සෑම කෙනෙකුට ම අවශ්‍ය පෝෂණ ප්‍රමාණය නො අඩුව ලැබෙන ලෙස ආහාර නිපදවීම හා ආහාර ලබාගැනීමේ ක්‍රමවේදය නිවැරදි කර නීරෝගිමත් ජාතියක් දායාද කිරීම මෙහි අරමුණ වේ.

 

n4

ගෙවත්ත නිවසේ ම කොටසක් ලෙසත් එය නිවසේ යැපීමට උපකාරීවන අත්‍යවශ්‍ය ඒකකයක් බවටත් පත්කර, පරිසරය හා බැඳුණු සාමකාමී පවුල් ඒකකයක් ගම තුළ ස්ථාපිත කිරීම තවදුරටත් බලාපොරොත්තු වේ. ස්වාභාවික විපතක දී වගාවන්ට හානි වුවහොත් තමන් කරගෙන යනු ලබන අමතර ගෘහ කර්මාන්තයෙන් ජීවනෝපාය කරගෙන යා හැකි අයුරින් ආර්ථික වශයෙන් එම පවුල ශක්තිමත් කිරීමට ද අදහස් කර ඇත.


මේ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පෙරමුණු ගන්නා අතර අද (මාර්තු 12) සිට සමස්ත දිවයින පුරා ආරම්භ වන මේ වැඩසටහන සර්වප්‍රකාරයෙන් ම සාර්ථක කර ගැනීම දැයේ සුබ අනාගතයට තවත් ආශ්චර්යයක් ම වන බව නිසැක ය.

දිල්හාරි බණ්ඩාර