Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here The Community නව පිබිදීමකට 'දිවි නැඟුම'

නව පිබිදීමකට 'දිවි නැඟුම'

  • පී.ඩී.එෆ් (PDF)

1විශාල ආහාර අර්බුදයක් අත ළඟ තිබෙන බවට පළ වන වාර්තා අනුව ඉන් මිදීම සඳහා පෙළ ගැසිය යුතු කාලය එළැඹ ඇත. ලෝකයේ සෑම රටක ම මේ වන විට සිදු වන ස්වභාවික හානි, කාලගුණික විපර්යාස, ආහාර මිල වැඩිවීම, ජීවන වියදම වැඩිවීම යන හේතු මත එවැනි අර්බුදයක පෙර නිමිති දැකිය හැකිය.


මේ සඳහා සියලු දෙනා සූදානම් විය යුතු ව තිබෙන අතර ශ්‍රී ලංකා‍ව ද එයට ගොදුරු වීමේ අවදානමක් නැතැයි කිව නොහැක. එයට මුහුණදීමේ ආරම්භක පියවරක් ලෙස, අතීත ලංකාවේ ස්වයංපෝෂිත ව පැවති දේශීය ආර්ථික ක්‍රමය නැවත ස්ථාපිත කිරීමේ අරමුණින් 'දිවි නැඟුම' ජාතික වැඩපිළිවෙළ ආරම්භ කිරීම සිදු වේ.


මෙරට කෘෂිකර්මාන්තය දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන අතර ලෝකයේ සිදු වූ වෙනස් වීම් තුළ ශ්‍රී ලංකාව ද ඒ හා යමින් වෙනස් මඟක් ගත්තේ ය. දේශීය ආර්ථික රටාව ගැන ලංකා ඉතිහාසයෙන් බොහෝ දේ කියා දෙයි. එදා පැවති සරල ජීවන රටාව තුළ ජනයා එදිනෙදා ජීවිතේ අවශ්‍ය දෑ නිෂ්පාදනය කර ගත් අතර මේ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වෙළෙඳපොළ හඳුන්වා ගැනීමත් සමඟ වෙනස් වන්නට පටන් ගත්තේ ය. එදා පැවති භාණ්ඩ හා සේවා හුවමාරු ක්‍රමය වෙනුවට මුදල් භාවිත කිරීම ආරම්භ වූ අතර වර්තමානය වන විට තම එදිනෙදා අවශ්‍යතා වෙළෙඳපොළ තුළින් ම සපුරා ගැනීමට මිනිසා යොමු වී ඇත.

2

විදේශ යටත් විජිතයක් බවට මෙරට පත් වීමත් සමඟ ඔවුන්ගේ වෙළෙඳ වාසි වෙනුවෙන් ශ්‍රී ලංකාව යොදා ගත්තේය. පසු ව විවෘත ආර්ථික රටාව සමාජගත වීමත් සමඟ දේශීය කෘෂිකර්මාන්තයට විශාල වශයෙන් බලපෑම ඇති කළේය. පිටරට දේ අගය කිරීමට යොමු වීමත් සමඟ දේශීය නිෂ්පාදන සඳහා තිබුණු අවධානය අවම මට්ටමට පැමිණියේය. මෙරට කෘෂි ආර්ථික රටාව ද වෙනස් වන්නට පටන් ගත්තේය. ඒ අනුව කෘෂිකර්මාන්තය වාණිජකරණයට ලක් වීමත් සමඟ එයට සමගාමී ව ආර්ථික වාසි සඳහා ආහාර නිෂ්පාදනයේදී රසායනික පොහොර භාවිතය ඇති විය. කෙසේ වුවත්  1977 දී මෙරටට හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමයෙන් පසු වෙනස් වූ ආර්ථික රටාව හා ජනතාව අත්වැල් බැඳ ගත්හ. නමුත් ‍පසුගිය කාලයේ ලෝකය ම මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ දේශීය ස්වයංපෝෂිත ආර්ථිකයක තිබෙන වැදගත්කම ලොව ම අවබෝධ කර ගත් අතර දේශීය ආර්ථිකයක් තුළින් රටක් ගොඩනැඟිය යුතු බව ද තහවුරු විය.


දේශීය දේ අගනා බව අතීත කතාවල දී කියවෙන්නේ මේ හේතුව නිසා බැව් පසක් වේ. පවුල් ඒකකය ආරම්භ වීමත් සමඟ ගෙවත්ත ද ආරම්භ වන්නට ඇත. එය අපට අලුත් දෙයක් නො වුණත් වෙළෙඳපොළ හා එක් වී කටයුතු කිරීමට යොමු වූ ජනතාව ගෙවත්තට දැක් වූයේ අඩු සැලකිල්ලකි. වාණිජ අවශ්‍යතා මත ආහාර නිෂ්පාදනය කිරීමට යොමු වූ ගොවියා ආහාරවල ගුණාත්මක බව කෙරෙහි අවධානය අඩු කර වැඩි නිෂ්පාදනයක් තුළින් ඉහළ මුදලක් ඉපයීම සඳහා යොමු වී සිටින බව සඳහන් කළ හැකිය. මේ අනුව වර්තමානය වන විට වස විසෙන් තොර ආහාර නිෂ්පාදනයක් නැති තරම් ය. මේ තත්ත්වය මිනිසාගේ සෞඛ්‍ය පිරිහීම සඳහා තදින් ම බලපෑම් සිදු කර ඇති බව සෞඛ්‍ය වාර්තා ගෙන බලන විට පැහැදිලි ය. දියවැඩියා රෝගී තත්ත්වය ළදරු‍වාගේ සිට වැඩිහිටියා දක්වා වෙනසක් නැති ව පැවතීමට මෙම ආහාර රටාව හේතු වී තිබීම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය. ඉදිරියේ මේ රට භාර ගැනීමට සිටින ළමා පරපුර නිරෝගිමත් ශක්තිමත් පිරිසක් බවට පත් කිරීම සියලු දෙනාගේ වගකීමක් වන්නේ ය.

3

පෝෂ්‍යදායී සමබර ආහාර වේලක් තම ගෙවත්තෙන් ම අතීතයේ මිනිසා ලබා ගත් අතර නැවතත් එම තත්ත්වය ඇති කරමින් දේශීය ආහාර පරිභෝජනය ජනතාව තුළ ප්‍රචලිත කිරීම සඳහා රජය මැදිහත් වී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.


ඒ අනුව නිරෝගී හා ආර්ථික වශයෙන් සවිබල ගැන් වූ පවුල් ඒකකවලින් සපිරි ගම්මාන බිහි කිරීම සඳහා 'දිවි නැඟුම' ජාතික වැඩපිළිවෙළ ආරම්භ කිරීමට රජය සියලු කටයුතු සකස් කර තිබේ. පවුලේ පෝෂණය  වැඩිදියුණු කර ගෘහ ආර්ථිකයට සහන ලබා දෙමින් ගෘහ ආර්ථික දස ලක්ෂයේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සිදු වේ. 'ඉසුරුමත් නිවහනක් - අසිරිමත් මව්බිමක්'  යන තේමාව යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.


මෙම වැඩපිළිවෙළ යටතේ 2016 වන විට පිරිපුන් ගමක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර ගෘහ ආශ්‍රිත කර්මාන්ත, සත්ත්ව පාලනය හා කර්මාන්ත ඉහළ මට්ටමකට ගෙන ඒම ඉලක්කය වී තිබේ.

ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙවැනි ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා හේතු කිහිපයක් ම දක්නට ලැබේ. ඒ අනුව වර්තමානයේ දක්නට ලැබෙන පාරිභෝගික රටාව නිරෝගිමත්භාවයට අහිතකර ලෙස බලපා ඇත. එ සේ ම වෙළෙඳපොළේ තිබෙන එළවළුවල ගුණාත්මක බව අඩු වී තිබීම, පළා වර්ග ධාන්‍ය වර්ග යනාදිය පෝෂණ ගුණයට වඩා වාණිජ නිෂ්පාදන ලෙස සකස් වී තිබීම, අතීතයේ සිට පශු සම්පත් නිෂ්පාදනයට මුල් තැන දී තිබුණු අතර වර්තමානයේ එය හීන වී ඉහළ මිලක පැවතීම යනාදී ගැටළු රැසක් හඳුනාගනිමින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීම සිදු වේ.


මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රධාන අරමුණු 4ක් ඇත.

1. පවුලේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම
2. පවුලේ දෛනික ජීවන වියදම අවම කිරීම
3. පවුලේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ
4. අමතර ආදායම් මාර්ග ඇති කිරීමයි.

45

පවුලේ පෝෂණය ඉහළ නැංවීම සඳහා කුකුළන් කිහිප දෙනෙක්, කිරි ග‍වයෙක් තබා ගැනීම තුළින් ගෘහයේ පෝෂණ  තත්ත්වය ද ඉහළ යන අතර මෙහි දී අමතර ආදායමක් ලබා ගැනීමට හැකි වේ. අතීතයේ බොහෝ නිවෙස්වල මෙවැනි තත්ත්වයක් දක්නට ලැබිණ. තම ගෙවත්ත තුළ එළවළු වගා කිරීම තුළින් වස‍විසෙන් තොර සමබර ආහාර වේලක් සකස් කර ගැනීමට ද හැකි වන අතර වර්තමානයේ ජනතාව වෙළෙඳපොළින් සියල්ල මිලට ගැනීමට හුරු වීම හේතුවෙන් පෝෂණ තත්ත්වය හීන වී තිබේ. මෙය පවුලේ ප්‍රධාන ආදායම් මාර්ගයක් නො වන අතර ගෘහ ආර්ථිකයට සහනදායී වැඩසටහනකි. ගම තුළ අතිරික්ත වෙළෙඳපොළක් නිර්මාණය වීම තුළින් ගෘහයට අමතර ආදායමක් ලැබෙනු ඇත.


දිවයින පුරා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ගෘහ ඒකක දස ලක්ෂයක් දායක කර ගැනීමට කටයුතු සැලසුම් කර තිබේ. මේ ඔස්සේ තවත් නිවාස ලක්ෂ ගණනක් එක් වනු ඇත. දිවයින පුරා ග්‍රාමසේවා වසම් 14,000ක් තිබෙන අතර සෑම ග්‍රාමසේවා වසමක ම ගෘහ ඒකක 100ක් ස්ථාපිත කිරීම මෙම වැඩසටහනෙහි ඉලක්කය වේ. මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑ ම මට්ටමක ගෘහ ඒකක මෙම වැඩසටහන සඳහා ඇතුළත් කර ගනු ලැබේ.


මෙම වැඩසටහන ගෘහ ඒකක හා සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබන්නේ ක්ෂේත්‍ර නිලධාරීන් ය. මෙහි දී එක් ගම්මානයක් සඳහා සමෘද්ධි නිලධාරී හා ග්‍රාම සේවා නිලධාරී ගෘහ ඒකක 25 බැගින් ආවරණය කිරීම සිදු වන අතර කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර මෙම ඒකක 50ක් ආවරණය කරනු ලැබේ. මේ සඳහා පවුල් සෞඛ්‍ය නිලධාරීට කැමැති පවුල් ඒකක ගණනක් සඳහා දායක විය හැකිය. මේ වැඩපිළිවෙළ ගමේ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව මෙම නිලධාරීන් පුහුණු කර අවසන් ව තිබේ.


මෙහිදී තාක්ෂණ නිලධාරීන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත ආර්ථික ඒකක සැකසීම, ප්‍රතිලාභීන් සඳහා පුහුණු වැඩසටහන් සැකසීම, යෙදවුම් හා අවශ්‍යතා හඳුනාගෙන ඒවා ග්‍රාමීය මට්ටමින් සංවිධානය කිරීම, නිරන්තර පරීක්ෂාව හා මඟ පෙන්වීම හා ප්‍රගති වාර්තා කිරීම මෙම නිලධාරීන්ට පැවරෙන කාර්යයන් අතර වේ. අදාළ නිෂ්පාදන සඳහා තාක්ෂණ නිලධාරීන්ගේ උපදෙස් හා දැනුම ලබාගැනීමට හැකිය.

6

වැඩසටහන සඳහා ඇතුළත් වන ගෘහ ආර්ථික ඒකක සඳහා ආකෘති පත්‍රයක් ලබා දෙන අතර මෙම පිරිස පෙර දැනුවත් කිරීමක් ද සිදු වේ. එම ආකෘති පත්‍රය අනුව අවශ්‍ය සැලසුම් සකස් කෙරෙන අතර ඒ තුළින් ගෙවත්ත ආර්ථික ඵලදායීතා ඒකකයක් බවට පත් කිරීමට සුදුසු ව්‍යාපෘති මෙහි දී හඳුනා ගැනේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන සෑම ගෘහ ආර්ථික ඒකකයක් සඳහා ම කාඩ්පතක් නිකුත් කෙරේ. මීට අමතර ව අදාළ ක්ෂේත්‍ර නිලධාරියා එම ගෘහ ඒකක පිළිබඳ සියලු තොරතුරු ළඟ තබා ගත යුතුය.


එදිනෙදා ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ගෙවත්ත ක්‍රමවත් ව සකස් කර ගැනීම මෙහි දී සිදු වන අතර එළවළු වර්ග කිහිපයක්, පළතුරු වර්ග කිහිපයක්, පළා වර්ග, අල භෝග ‍ඖෂධීය හා කුළුබඩු කිහිපයක් එම සැලසුම් කිරීමේ දී වගා කළ හැකිය. මෙහි දී ගෙවත්ත සැලසුම් කිරීමේදී අරමුණ, අවශ්‍යතාව හා ඉඩකඩ අනුව විවිධ අංග එක් කළ හැකිය.

7

වගාව සඳහා ඉඩකඩ සීමිත හා භූමිය නොමැති ස්ථානවලට ගැළපෙන ආකාරයේ වගා ක්‍රම යොදා ගැනීමට හැකිය. මෙහි දී වගා කුළුණු, වැල් සහිත බෝග, උද්‍යානයේ වැට, තාප්ප, ආරුක්කු සඳහා යෙදීම සිදු වේ. නාගරික නිවාසවල සඳළුතල වගා දක්නට ලැබෙන අතර බඳුන් මේ සඳහා යොදා ගැනේ. මේ අනුව වගාව සඳහා ඉඩකඩ පිළිබඳ ගැටළුවක් ඇති නොකර තිබෙන ඉඩ ප්‍රමාණය අනුව තම වගාව සැලසුම් කර ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීමට එක් විය හැකිය.


මෙම ජාතික වැඩපිළිවෙළ සඳහා අමාත්‍යාංශ 17ක දායකත්වය ලැබෙන අතර ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ මෙය මෙහෙයවීම සිදු වේ. ප්‍රධාන අංශ 3ක් යට‍තේ මෙම වැඩසටහනට දායක වන අතර කෘෂිකාර්මික, පශු සම්පත් හා ධීවර සහ ගෘහාශ්‍රිත කර්මාන්ත හා ව්‍යාපාර වශයෙන් දක්වා තිබේ. මේ අදාළ නිෂ්පාදනය සඳහා ඒ ඒ අමාත්‍යාංශවල දායකත්වය ලැබෙන අතර දේශීය නිෂ්පාදන තුළින් ස්වයංපෝෂිත කිරීමට දායකවීමෙන් ඔබ ද ආහාර අර්බුදය විසඳීමේ පාර්ශවකරුවෙක් වනු ඇත.

 

ප්‍රදීපා දිසානායක