Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here The Community රෝගී ජීවිත සුරැකුමට ස්නායු ක්ෂති ඒකකයක්

රෝගී ජීවිත සුරැකුමට ස්නායු ක්ෂති ඒකකයක්

  • පී.ඩී.එෆ් (PDF)
trauma0125

මාර්ග අනතුරුවලට ලක්වන පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා කඩිනමින් ප්‍රතිකාර කර සුවපත් කිරීම මහින්ද චින්තන ඉදිරි දැක්මේ ද අරමුණක් වන අතර එම අරමුණ ද පෙරදැරි ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නව ස්නායු ක්ෂති ඒකකයක් ජනතා අයිතියට පත් කෙරේ.

මාර්ග අනතුරු ඇතුළු හදිසි අනතුරුවලට ගොදුරු ව ජීවිත තර්ජනවලට ලක්වන පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා ප්‍රතිකාර  කඩිනමින් ලබාදීම කොළඹ ජාතික රෝහලේ අලුතින් ඉදිකර අද (31) විවෘත කරන නව ස්නායු ක්ෂති ඒකකයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

හදිසි අනතුරු ප්‍රතිකාර ජාලයේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වශයෙන් සංවර්ධනය කර තිබෙන්නේ කොළඹ ජාතික රෝහලේ නව ස්නායු ක්ෂති ඒකකයයි.

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ජාලයේ නව ස්නායු ක්ෂති ඒකකය විවෘත කිරීමෙන් පසු හදිසි ප්‍රතිකාර සේවය තවදුරටත් ශක්තිමත් වේ.

ශ්‍රී ලංකාවේ වැඩි ම මාර්ග අනතුරු ප්‍රමාණයක් සිදුවන මාර්ග ජාලය හඳුනාගෙන තිබේ. මෙකී හදිසි මාර්ග ජාලය ආවරණය වන පරිදි හදිසි අනතුරු සේවා ජාලයක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල, රත්නපුර ශික්ෂ්ණ රෝහල, කුරුණෑගල  ශික්ෂණ රෝහල සහ කෑගල්ල ශික්ෂණ රෝහල යන රෝහල්වල හදිසි අනතුරු ප්‍රතිකාර ඒකක ඉදිකිරීමට පියවර ගෙන තිබේ. මේ අතරින් කරාපිටිය සහ කුරුණෑගල රෝහල්වල හදිසි අනතුරු ප්‍රතිකාර ඒකක ක්‍රියාත්මක වෙමින් පවති.

විවෘත කෙරෙන නව ස්නායු ඒකකය අතිනවීන වෛද්‍ය පහසුකම් සහිත ව ඉදිකර තිබේ. මේ සඳහා හදිසි අනතුරු ඒකකය, ස්නායු ශල්‍ය කර්ම සඳහා ශල්‍යාගාර 8ක්, ඇදන් 66කින් යුත් දැඩි සත්කාර ඒකක හයක්, ඇඳන් 228කින් යුත් ප්‍රතිකාර ඒකකයක්, පුනරුත්ථාපන ඒකකය, ගෞතික චිකිත්සා ඒකකය, වෘත්තීය චිකිත්සා ඒකකය, කථන චිකිත්සා ඒකකය, ලේ බැංකුව, සායන මධ්‍යස්ථානය, එම්.ආර්.අයි/සී.ටී.ස්කෑන් පහසුකම්,  එක්ස්- රේ පහසුකම්, පුස්තකාලය, ආපනශාලාව, සම්මන්ත්‍රණ ශාලාව, පරිපාලන අංශය සහ හෙලිකොප්ටර් අංගනය ආදී අංශ රැසකින් නව ඒකකය සමන්විත වෙයි.

මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 300කි. සෞදි අරාබියානු රජයේ සංවර්ධනය සඳහා වූ සෞදි මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය මූල්‍ය දායකත්වය සපයා ඇත.

නව ඒකකය විවෘත වීමත් සමඟ  හදිසි අනතුරුවලට ලක්වන දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබාදීමට  හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ව සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය 80,000ක් පමණ වන අතර මෙම මාර්ග අනතුරු නිසා වාර්ෂික ව මිය යන ප්‍රමාණය 2500ක් පමණ වේ. එමෙන් ම තවත් 20,000ක් පමණ ආබාධිත තත්ත්වයට පත් වේ.

විශේෂයෙන් ම මහනුවර සිට කොළඹ දක්වා මාර්ගයත්, බදුල්ල සිට රත්නපුරය හරහා කොළඹ දක්වා මාර්ගයත්, හම්බන්තොට සිට මාතර හරහා කොළඹ දක්වා මාර්ගයත්, හලාවත සිට කොළඹ දක්වා දිවෙන මාර්ගයත්, අනුරාධපුර සිට දඹුල්ල, කුරුණෑගල හරහා කොළඹ මාර්ගයත්, අනුරාධපුර සිට ඇල්ල කුරුණෑගල හරහා කොළඹ මාර්ගයත් වැඩි ම මාර්ග අනතුරු සිදුවන මාර්ග ලෙස හඳුනාගෙන ඇත.

මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු රැසක් ද  ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අහමඩ් ඒ ජවාඩ්, සෞදි රජයේ මුදල් අමාත්‍ය සහ සංවර්ධනය  සඳහා වූ සෞදි මූල්‍ය අරමුදලේ සභාපති ආචාර්ය ඉබ්‍රාහිම් අල්-අසාෆ් යන මහත්වරු ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් ද සහභාගී වීමට නියමිතය.

ප්‍රභාත් රත්නායක