Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

You are here The Community පොහොර සහනාධාරයේ විප්ලවය

පොහොර සහනාධාරයේ විප්ලවය

  • පී.ඩී.එෆ් (PDF)

fertilizer_main“මහින්ද චින්තන ඉදිරි දැක්ම'' අනුව රජය තවදුරටත්  ශ්‍රී ලාංකේය ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබාදීමට හා එය ව්‍යාප්ත කිරීමට පියවර ගෙන අවසන්. ශ්‍රී ලංකාව කෘෂි ආර්ථිකය තුළ සවිමත් කරලීම හා අනාගත ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කිරීමේ ප්‍රයත්නයට කෘෂි ක්ෂේත්‍රය සාධනීය ලෙස දායක කරගැනීම මෙම සහනාධාර වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක්.

ඒ අනුව රජය පොහොර සහනාධාර ප්‍රතිපත්තිය බිම් මට්ටමට ගෙන යාම සඳහා සුවිශේෂී වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවලා. රජයේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ මෙන් ම ශ්‍රී ලංකාවේ පොහොර භාවිතය හා එහි ප්‍රමිතීන් නියාමනය කිරීමට ද රජයේ අවධානය යොමු වෙලා.

පොහොර භාවිතය පිළිබඳ ව සමාජයේ ඇත්තේ විවිධ කථිකවන්. ඇතැම් තැනෙක මෙය මාෆියාවක් ලෙසද  හඳුන්වා දෙන්නට උත්සහ කරනවා. පොහොර ගොවි ජනතාවට උසස් ප්‍රමිතියෙන් යුතු ව ලබාදීමට එහි ගුණාත්මක තත්ත්වය අධීක්ෂණය කිරීම සිදු කරන්නේ ජාතික පොහොර ලේකම් කාර්යාලය.

ඇතැම් තැනක රසායනික පොහොර යෙදීම, පොහොර සහනාධාරය පිළිබඳ ව පවතින වර්තමන තත්ත්වය හා පොහොර භාවිතය මඟින් ඉදිරියේ දී කෘෂි ක්ෂේත්‍රය කෙසේ දියුණු කළ හැකිද ඒ සඳහා අප කළ යුක්තේ කුමක් ද යන්න පිළිබඳ රජයේ නිල වෙබ් අඩවිය ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ රංජන්  ධර්මවර්ධන මහතාගෙන් විමසීමක් කළා. මෙම පොහොර වැඩපිළිවෙළ පිළිබඳ ව ධර්මවර්ධන මහතා සිය අත්දැකීම් පැහැදිලි කරන්නේ මෙලෙසින්.

fertilizer1963 හරිත විප්ලවයත් සමඟ කෘෂි රසායනික සංස්කෘතියක් කෘෂිකර්මාන්තයට එකතු වුණේ ආසියාවද සමඟින්. මෙහි ගැටළුවක් වුණේ පාලනයකින් තොර ව ම පොහොර මෙන් ම රසායනික  භාවිතයට කෘෂිකර්මාන්තය පෙළැඹීම. ඇතැම් තැනක බලකිරීමක් ද සිදුවුණා. භාවිතයේ කිසිදු ප්‍රමිතියක් පැවැතියේ නෑ. සීමාවකින් තොර ව මේවා  රටට ගලා එන්නට පටන් ගත්තා.

මේ තත්ත්වය ඇති වුවත් කිසියම් ආනයනික පාලනයක් ශ්‍රී ලංකාව තුළ පැවතුණා. 1977 දී රටට හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සමඟ එහි බලපෑම මේ ක්ෂේත්‍රයටත් පොදු වේ බලපෑම් ඇති කළ බව පෙනී යනවා.

එමනිසා පසු කාලීන ව මෙම කෘෂිරසායනික හා පොහොර පිළිබඳ පාලනයක්අවශ්‍ය වුණා. ඒ අනුව 1988 දී පොහොර විධිමත් කිරීමේ පනත ගෙන එනවා. එතැන් පටන් ලංකාවට ආනයනය කරන පොහොරවල ප්‍රමිතිය පිළිබඳ විධිමත් නියාමනයක් සිදු කිරීම ආරම්භ වුණා. ඒ අනුව ජාතික පොහොර ලේකම් කාර්යාලය බිහි වුණා. මේ වනවිට පොහොර පිළිබඳ ව තවදුරටත් ඉදිරියට යමින් පවතින ගැටළු හඳුනාගනිමින් ප්‍රමිතියෙන් යුත් පොහොර ගොවීන් අතට පත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ ජාතික පොහොර ලේකම් කාර්යාලය යි.

වත්මන් රජය මඟින් ගොවීන් වෙත ලබාදෙන පොහොර සහනාධාරය තවදුරටත් ව්‍යාප්ත කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා. මේ සඳහා අදාළ  පාර්ශවකාර ආයතන දැනුවත් කර තිබෙනවා.

නව සහනාධාර පොහොර ප්‍රතිපත්තිය යටතේ වී වගාව  සඳහා පොහොර සහනාධරය නොවෙනස් ව ඉදිරියටත් ලබාදීමට රජය බලපොරොත්තු වෙනවා. ඒ අනුව යූරියා, ත්‍රිත්ව සුපිරි පොස්පේට් හා මියුරියෙට් ඔෆ් පොටෑෂ් කිලෝ ග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 350ක මුදලට අලෙවි කෙරෙනවා.

අනෙකුත් කෘෂි හා වැවිලි බෝග සඳහා කි.ග්‍රෑ. 50ක රසායනික පොහොර මිටියක් රුපියල් 1200කට අලෙවි කෙරෙනවා. මෙම නව ප්‍රතිපත්තිය පසුගිය මැයි මස සිට ම ක්‍රියාත්මකයි.

රාජ්‍ය පොහොර සමාගම් වන ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම රජයේ වී පොහොර සහනාධාර වැඩසටහනට ඍජු ව ම මැදිහත්වෙලා. මෙහිදී පෞද්ගලික පොහොර සමාගම්වල මැදිහත්වීම අඩු ප්‍රදේශවලට වැඩි ප්‍රමුඛතාවක් ලබා දීම රජයේ අරමුණ. මේ වනවිට පෞද්ගලික ආයතන 75ක් පමණ පොහොර බෙදාහැරීම සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙනවා.

වී වගාව සඳහා රසායනික පොහොර අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය සපයන්නේ නයිට්‍රජන් පොටැසියම් හා පොස්පරස්. ඊට අමතර ව වෙනත් ඍජු පොහොරත් භාවිත කරන්නට සිදු වෙනවා. සින්ක් සල්පේට් එවැන්නක්. එය සහල් ඇටයේ ශක්තිය තබාගැනීමට උදව් වෙනවා.

fertilizer_3ශ්‍රී ලංකාවේ වී වගාව යල සහ මහ ලෙස සිදුවන්නක්. මෙම කන්න දෙක ගත්විට රටේ පවතින භූමි ප්‍රමාණයත් දේශගුණික තත්ත්වයත් වගාවට හිතකර ලෙස පැවැතියත් වසරකට වී වගාව සඳහා පමණක් යූරියා මෙක්ට්‍රික් ටොන් 350,000ක් අවශ්‍ය බව ඇස්තමේන්තුකර තිබෙනවා. ප්‍රධාන පොහොර වර්ග තුන එකතුකළ විට සමස්ත අවශ්‍යතාව 585,000ක් පමණ. මීට අමතර ව අනෙකුත් ආර්ථික භෝග සඳහා ද භාවිත කෙරෙන පොහොර අවශ්‍යතාව මෙ.ටොන් 350,000ක් පමණ වෙනවා. ඒ අනුව සමස්ත අවශ්‍යතාව වාර්ෂික ව මෙ.ටොන් 9,50,000කට වැඩිවන්නේ නැහැ. මෙහි වාණිජ වටිනාකම රුපියල් මිලියන 63,000ක් බවත් මින් රුපියල් මිලියන 52,500ක් ම පොහොර සහනාධාරයට වෙන් කර ඇති බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ.

පොහොර ආනයනය කිරීමට නම් ඒ සඳහා බලපත්‍රයක් අවශ්‍යයි. ඊට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතිය තිබිය යුතුයි. රටට ගොඩබෑමට කලින් එම පොහොරවල ගුණාත්මක බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධීක්ෂණයට ලක්වෙනවා. පොහොර රටතුළ බෙදාහැරීමේ දී ඊට ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ සඳහා වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. එය සිදුවන්නේ දිස්ත්‍රික් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා.

ශ්‍රී ලංකාව තුළ පොහොර ඌනතාවක් හෝ අතිරික්තයක් ඇති නොවන අයුරින් සහ හදිසි අවස්ථාවක සියයට 10ක් ආරක්ෂිත තොග ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ජාතික පොහොර ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව පොහොර ආනයනයේ දී සමාගම් සඳහා කෝටා ක්‍රමයක් අනුව ක්‍රියාත්මක කිරීමටයි සූදානම.

ජාතික සවිය, ස්වයංපෝෂිත ගෘහ ආර්ථිකයක් සඳහා මෙම නව පොහොර සහනාධාරය ව්‍යාප්ත කිරීම තවත් ශක්තියක් සපයන්නක්. එය ගොවි ජනතාවගේ ආර්ථික සමෘද්ධිය ඇති කිරීමට මෙන් ම කෘෂි ක්ෂේත්‍රයේ සංවර්ධනයට  අත්වැලක්. මේ නිසාම රජය ආනයනය කරනු ලබන පොහොරවල ගුණාත්මකභාවය පිළිබඳ ව දැඩි අවධානයකින් සිටින්නේ.

ආනයනය කරනු ලබන පොහොර ගබඩා කිරීම, බෙදාහැරීම, අලෙවිය හා භාවිතය යන සැම අවස්ථාවක දී ම  ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් අහඹු ලෙස සාම්පල් විශ්ලේෂණය මඟින් පොහොරවල ගුණාත්මක බව පරීක්ෂා කරනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිය ජාතික සංවර්ධන ප්‍රගතිය පිළිබඳ 2004-2010 වාර්තාව මඟින් පවසන්නේ, ''පසුගිය දශක දෙක තුළ දේශීය සහල් නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවයි. මිල යාන්ත්‍රණය හැසිරවීමේ අරමුණින් සුළු ප්‍රමාණවලින් සහල් ආනයනය සිදු කළද මේ වනවිට රට සහලින් ස්වයංපෝෂිතභාවය කරා ළඟා වී පවතින බව 2004-2010 වර්ෂවලට අදාළ දත්තවලින් පැහැදිලි වේ. මෙම දියුණුව ගොවියාට රජය ලබා දදෙන ලද විවිධ සහනධාරවල ප්‍රතිඵලයක්. පොහොර සහනාධාරය මින් ප්‍රධාන තැනක් ගන්නා බව පැහැදිලි කරුණක්.''

ඒ අනුව වසර 2004 දේශීය වී නිෂ්පාදනය මෙ.ටොන් 2,628,000ක් වූ අතර 2010දී එය මෙ.ටොන් 4,044,000 ලෙස ගණන් බලා තිබෙනවා. එය ස්වයංපෝෂිතභාවය දැක්වෙන දර්ශකය ලෙස පිළිවෙළින් සියයට 88% සහ 114%ක් වෙනවා. මෙහි ස්වයංපෝෂිත දර්ශකය යනු දේශීය සහල් සැපයුම වාර්ෂික සහල් අවශ්‍යතාවට දක්වන ප්‍රතිශතයයි.

වසර 2006 පැවැති 15.2%ක් වූ දිළිඳු බව වසර 2009 දී 7.6% දක්වා අඩු වීමට රජය ගෙන ගිය ග්‍රාමීය හා වතු ආර්ථිකය ශක්තිමත් කිරීම හේතු වී තිබෙනවා.

උතුරේ ත්‍රස්තවාදය The_Harvest_1882මුලිනුපුටා දැමීමට රජය කටයුතු කිරීමත් සමඟ එම ප්‍රදේශවල කෘෂිකර්මාන්තයේ පිබිදීමක් ඇති වීම නිසා උතුරට පොහොර බෙදාහැරීම වැඩි වී ඇති බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ධර්මවර්ධන මහතා පවසන්නේ. උතුරේ කෘෂි ක්ෂේත්‍රය නැංවීමට පොහොර ගබඩා පහසුකම් ඇති කිරීමටත් රජය පියවර අරන්.

මුලතිව් දිස්ත්‍රික්කය සඳහා පොහොර ගබඩා 8ක් හා ගොවීන්ගේ වී අස්වැන්න හා ආහාර ද්‍රව්‍ය රැස්කර තැබීමට ගබඩා 2ක් සෑදීමට රුපියල් මිලියන 14.5ක් වෙන් කර තිබෙනවා. ඊට අමතර ව කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම සංවර්ධනයට හා පොහොර ගබඩා 6ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 17.3ක් රජය වෙන් කර තිබෙනවා.

උතුරේ ජනතාවට අවශ්‍ය තරම් පොහොර ලබාදීමට රජය කටයුතු කරන බව ද ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. උතුරේ පොහොර ඉල්ලුමේ අපේක්ෂිත වැඩි වීම සියයට 40%ක්.

fertilizer_2වත්මන් රජය පුරන් කුඹුරු ඇස්වැද්දීමේ වැඩපිළිවෙළ දියත්කරන්නේ ද මෙම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට. මේ වනවිට නාගරික ප්‍රදේශවල පුරන් කුඹුරු අස්වැද්දීම දකින්නට පුළුවන්. පොහොර සහනාධාරයත් සමඟ වැඩි වැඩියෙන් ගොවි ජනතාව වී වගාව කෙරේ යොමු වී ඇති බවට එය ම හොඳ නිදසුනක්.

පොහොර සහනාධාරය රජය ලබාදෙන්නේ කෘෂි ආර්ථිකය හා වැවිලි ක්ෂේත්‍රයට සිදු කරනු ලබන ආයෝජනයක් හැටියටයි. මෙය ආයෝජනයක් නම් එය පෙනෙන්නට අවශ්‍යයි. මෙම වැඩපිළිවෙළට දායක වීම ජනමාධ්‍ය වගේ ම අනෙක් අදාළ සියලු පාර්ශවයන්ගේ වගකීමක් යැයි පවසන්නේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා.

රජය ගෙනයන කෘෂිකර්මය නැංවීමේ වැඩසටහන්වල දී අපේ ප්‍රජාවගේ වගකීම සහල් ප්‍රධාන කෘෂි නිෂ්පාදන සඳහා වැඩි නැඹුරුවක් දැක්වීම. පොහොර සහනාධාරයට රුපියල් මිලියන 52,500ක් වැයකරන රජය ඒ බර ගොවියාගේ කරමතින් නිදහස් කර තිබෙනවා. නැතිනම් ඒ බර ගෙවා දැමීමට සිදුවන්නේද ගොවියාට මයි. රුපියල් 350කට පොහොර මිටියක් ගොවියාට ලැබෙන විට රජයට ඒ වෙනුවෙන් රුපියල් දහසේ කොළ තුනක් වැයකරන්නට සිදු වී තිබෙනවා.

මෙම ආයෝජනයේ වාසිය ගොවීන් විසින් ලබාගත යුතු සේ ම තම කෘෂි ආයෝජනයෙන් කොටසක් නැවතත් රටේ කෘෂි ආර්ථික සංවර්ධනයට ම දායක කරන්නේ නම් රජය ගෙන යන පොහොර සහනාධාර වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් වනු ඇති. රට ආසියාවේ ආශ්චර්යවත් දේශයක් කරා යන ගමනට තල්ලුවක් වනු ඇති.


සාකච්ඡා කොට සකස් කළේ


ප්‍රභාත් රත්නායක / නිරංජලා දිල්රුක්ෂි හේරත්