Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

You are here The Community මහාචාර්ය මැන්දිස් රෝහණදීර

මහාචාර්ය මැන්දිස් රෝහණදීර

  • පී.ඩී.එෆ් (PDF)

Rohanadiraපල්ලත්තර අලුත්වැව වසාගනිමින් නෙළුම් මල් පිපී ඇත. ඉන් නෙළුම් දඬු හා නෙළුම් අලවලින් ගම්වැසියෝ තම කුසගිනි නිවා ගනිති. වැව් ඉස්මත්තේ කුඹුරු යායකි. එහි ලියැදි වසා ගනිමින් සුදු පැහැති කයිල හතු පිපී තිබේ. මේ දසුන ඈතට දිස්වෙන්නේ් කිසියම් කෙනෙකු පිළිගැනීමට එළා ඇති සුදු පැහැ පාවාඩයක් සේය.

සොබාදහම විසින් නිර්මිත මේ බිම්මල් පාවාඩය බලා සිටියේ පල්ලත්තර ගමේ විසූ කුඩා දරුවකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන්නාක් මෙනි. කුඩා දරුවා අනාගතයේ රට දැය ජයගන්නා මහා පඬිවරයෙකු වන බවට සුදු පැහැති කයිල හතු දැන සිටියා නොඅනුමානය. දරුවාගේ දෙපා එසැවුණේ් මේ සුදු පාවඩය දෙසටය. කයිල හතු එකින් එක නෙළා ගත් ඔහු නිවසට රැගෙන ගොස් පිස ආහරට ගත්තේ ය. අනාගත මහා පඬිවරයෙකුගේ කුසගින්නට අහරක් වීමට හැකි වීම ගැන ඒ කයිල හතු අපමණ ලෙස සතුටු වන්නට ඇත.

වෙල් එළියේ දුව පැන නටා ඇළේ දොළේ ජබු ගසමින් ගමේ සැහැල්ලු ජීවිතයක් ගත කළ පවුලේ මේ බඩපිස්සාගේ සමරු පොතේ මහා සාහිත්‍යධර මහගමසේකරයන් මෙවන් පද පෙළක් සටහන් කර තිබිණි.

“හෙළ ලිවිසැරිය හඳුනා එහි ඇති මිහිර
විඳ මත්වූ කෙනෙකු මින් දෙවසකට පෙර
මට මුණගැසිණි උන්ගේ ඒ මුහුණු වර
නොමැකී සදාවා නිති මා හද මැඳුර”

මහගමසේකරයන්ගේ පවා ගජ මිතුරෙකු වීමට වාසනාවන්ත වූ උසස්, බුද්ධිමත්, ගුණවත් මේ මිනිසා ඔබ අප කවුරුත් හඳුනන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැන්දිස් රෝහණදීරයන් ය. මැන්දිස් රෝහණදීර මහතා අසූවියට පා තබන මේ මොහොතේ එදාමෙදා තුර කාලයෙ අමතක නොවන මිහිරි අමිහිරි මතකයන් බොහොමයකි.

වේවැල් පහර

“හම්බන්තොට පල්ලත්තර කියන ගමේ මං උපත ලැබුවා. හරිම සුන්දර වටපිටාවක් ප්‍රදේශයේ තිබුණේ. ඒ සුන්දරත්වයත් සමඟ අපේ ජීවිතත් සුන්දර වුණා. අපේ ගෙදර මී හරක් හිටියා. මී හරකෙක් ගෙදර මිදුලේ ගොම ගොඩක් දාලා තිබුණා. දවසක් මේ ගොම ගොඩ මට පෑගුණා. ගොම ගොඩ පෑගුණා කියලා මං කෑගහලා අම්මට කිව්වා. මගේ කකුලේ ගෑවිලා තිබුණ ගොම හෝදන්න අක්කා ආවා. ඇය එන්න ටිකක් ප්‍රමාද වුණා. එතකොට මගේ කකුලේ ගොම තිබුණේ නැහැ. අක්කා මගෙන් කෝ ගොම කියා ඇහුවාම මං මෙහෙම හයියෙන් කිව්වා.”ඩිංගි හුජ්ජි ගොම හෝදා” කියලා. එතකොට මං යංතං බහ තෝරන වයස. අවුරුදු තුනක් හතරක් විතර ඇති වයස. මුත්‍රා ස්වල්පයකින් ගොම හෝදාගත්තා කියන අර්ථය තමා මං ‘ඩිංගි හුජ්ජි ගොම හෝදා” කියලා තියෙන්නේ.

මං පාසල් ගියේ පයින්. අපේ ගෙදර ඉඳලා පාසලට සැතපුම් දෙක හමාරක් පමණ දුර ගෙවාගෙන පයින් යන්න ඕන. හැමදාම උදේ පාන්දර හතර, හතර හමාර විතර වෙනකොට අපි ගෙයින් එළියට බහිනවා. පාසලට පයින් යන්න තාර දැමූ පාරවල් ඒ කාලයේ තිබුණේ නෑ. මහා දුෂ්කර ගමනක් යමින් අප ඒ කාලයේ ඉගෙන ගත්තා.

හැමදාම උදේ පාන්දර පාසලට ඇවිත් පාසල් වත්තේ වගාකර තිබෙන මල් පොච්චිවලට වතුර දාන්න අපට බාරවෙලා තිබුණා. වතුර දාන අයට ලකුණු දෙනවා. වැඩිම ලකුණු ලබාගත් කෙනාට මාස්පතා තෑගි දෙනවා. ඒ නිසා අප තරගෙට වගේ මල් පැළවලට වතුර දැම්මා. ඒ වාගේම පාසල් වත්තේ මඤ්ඤොාක්කා වගාකර තිබුණා. ග්‍රාමීය අධ්‍යාපන ක්‍රමය යටතේ තමයි මෙහෙම වගාකර තිබුණේ. උදේ දහය වන තුරු මේ වගා ක්‍රමවලට ළමයින් සහභාගි කරවා ගත්තා. අප එළවළු පවා වගා කළා.

rohanadira2

මඤ්ඤොක්කා උගුල්ලන්නට පෙර පඳුරු කපා දැමිය යුතුයි. විස්සක් පමණ කපා දැම්මා. අල බැස නැති කුඩා පඳුරු පවා මං කපා දැමුවා. මං නොදැනුවත්කමින් කළ මේ වැඩේ පාසලේ මුල් ගුරුවරයාට ආරංචි වෙලා තිබුණා. පාසල් වත්තේ ළිඳක් තිබුණා. ළිඳ වටේට තාප්පයක් බැඳ තිබුණා. ඒ තාප්පය අල්ලා ගන්න කියලා මුල් ගුරුවරයා දිග කෝටුවකින් මට හොඳටම තැලුවා. ඒ කාලේ පාසල් ගියේ සරමක්් ඇඳලා. සරම උස්සලා මගේ පස්සට වේවැල් පහර පහක් ගැහුවා. නොදැනුවත්කමින් කළ වැරැද්දට දඬුවම් ලබන්න වුණේ ඔය විදියටයි.

1930 ගණන්වලදී අපේ ගමටත් මැලේරියා වසංගතය ආවා. ගමේ සිටි හැම ළමයෙකුටම මේ වසංගතය වැලඳෙන්න පටන් ගත්තා. මට මතකයි අපටත් උණ හැදුණා. අප ගැහි ගැහී හිටියා. මේ ලෙඩේට ප්‍රතිකාරයක් විදියට උදේ පාන්දරම අපව නාවන්න අම්මලා කටයුතු කළා. වත්ත පහළ ළිඳ ළඟට එක්කගෙන ගිහිං අපව සීතලේ නෑව්වා. සීතලේ ගැහි ගැහි මෙහෙම කාලයක් නෑවා. මේ වසංගතයට එය කදිම ප්‍රතිකාරයක් වුණා.

ජ්‍යෙෂ්ඨය සමත්වෙලා රැකියාවක් නැතිව මං අවුරුදු දෙකක් විතර හිටියා. එතකොට වයස අවුරුදු 17ක් 18 ක් විතර ඇති. මේ කාලෙදී මං යාළුවෙක්ව එකතු කරගෙන හේනක් කෙටුවා. ඉරිඟු , මිරිස් වගේ දේ වැවුවා. ඒ වායේ අස්වැන්න නෙළා ගත්තාම කද බැඳගෙන බෙලිඅත්තට අරගෙන යනවා. හැතැප්ම තුනක් විතර පයින් යනවා. ඒවා විකුණලා ලුණු , කරවල ආදිය ගෙදරට අවශ්‍ය කළමනා රැගෙන එනවා.

දවසක් අපේ අම්මා නැකැත්කරුවෙකුට කියලා අපේ කේන්දර බලවා තිබෙනවා. ඒ නැකැත්කරු ප්‍රසිද්ධ අයෙක්. ඔහු කේන්දර සියල්ල බලලා කියපු කතාවක් ගේ ඇතුළේ සියල්ලන්ටම ඇහෙන ලෙස අම්මා කීවා. “පොඩි එකාගේ කේන්දරේ බලලා කීවා, හොඳට ඉගැන්නුවොත් කවදාහරි මලලසේකර මහත්තයා වගේ ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා. අනෙක් දරුවන්ට ඉගැන්නුවේ නැතත් මේ පුතාට හරි උගන්වන්න” කියලා නැකැත්කරු ප්‍රකාශ කර තිබෙනවා. අවසානයේදී අම්මා මට උගන්වන්න බොහොම මහන්සි වුණා.

දිය පට්ටා

සිංහලවලින් ජ්‍යෙෂ්ඨය සමත් වූ අයට ඒ කාලේ තිබූ එකම රැකියාව ගුරු වෘත්තිය. ඒ නිසා මං ගුරු අභ්‍යාස ප්‍රවේශයට වාඩි වුණා. මේ ප්‍රවේශ විභාගයට මාත් සමඟ මට ඉගැන්වූ ගුරුවරයෙකුත් වාඩි වුණා. අප දෙදෙනාම විභාගයෙන් සමත් වුණා. කොළඹ බෞද්ධ මන්දිරයේ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවා. ඒකට මාව කැඳෙව්වා. මං ඒ වනතුරු කකුලට සෙරෙප්පු දාලා තිබුණේ නැහැ. එතකොට මට වයස අවුරුදු 19 යි. අයියත් එක්ක මාතරට බස් එකේ ඇවිත් එතැන සිට කොළඹට කෝච්චියෙන් ආවා. සෙරෙප්පු දාලා නිසා කකුල්වල දියපට්ටා ඇවිත් තිබුණා. මං කොටුවේ තරුණ බෞද්ධ මන්දිරයට ගියේ සපත්තු ගලවාගෙන. සම්මුඛ පරීක්‍ෂණයේ මගේ නම කියැවෙන කොට හරි අමාරුවෙන් සෙරෙප්පු දාගෙන ඇතුළට ගියා.

සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ හිටියේ පී. ද ඇස්. කුලරත්න සහ නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති රණසිංහ කියන මහත්වරු. කවියක් කියන්න කියලා ඔවුන් මට කීවා. තැනට සුදුසු විදියට මං හංස සංදේශයේ කවියක් කීවා. ඒ කවිය මෙහෙමයි.

“සයුරට වදින මහ ගං නැවැති තැන් නැත
අඳුරට බියව රිවිසඳ සැඟවි තැන් නැත
විදිනට බැරිව විදුරවි හැකිළි තැන් නැත
යුදයට පැමිණ මිණිරිඳු පැරදි තැන් නැත”

rohanadira3සම්මුඛ පරීක්‍ෂණයට සිටි මහත්වරු දෙන්නා හිනා වුණා. කුලරත්න මහත්මයා හිනාවෙලා එහෙමනම් තමුන් පරාද නෑ කියලා මාව ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළු කළා.

ගුරු අභ්‍යාස විද්‍යාලයට මාව තෝරාගෙන තිබූ ලිපිය ලැබුණා. එහි යන විට රැගෙන යාමට තිබූ බඩු ලැයිස්තුවක් සඳහන් කර තිබුණා. කැන්වස් සපත්තු ජෝඩුවක්, කාකි කොට කලිසම් දෙකක් ඒ අතර තිබුණා. මේවා ගන්න මුදල් අවශ්‍යයි. ඒත් අපට අවශ්‍ය මුදල් තිබුණේ නැහැ. අපේ වත්ත අක්කර බාගයයි. රුපියල් දෙසීයකට වත්ත උකස් කළා. ඒ ලැබුණ මුදල්වලින් තමයි මට අවශ්‍ය භාණ්ඩ ගත්තේ.

ගුරු අභ්‍යාස විද්‍යාලයේ දී මට මහගමසේකර , ජී. බී. කුමාරගේ යන යාළුවන් හමුවුණා. ඔවුන් මගේ ගජ මිතුරන් බවට පත්වුණා. අපි තුන්දෙනා ව්‍යාකරණවලට හරිම දක්ෂයි. අවුරුදු දෙකක් අපි විද්‍යාලයේ ඉගෙන ගත්තා. විද්‍යාලයෙන් ඉවත් වෙන කොට සේකර මගේ සමරු පොතේ අමතක නොවන කවියකුත් සටහන් කළා.

1951 අවුරුද්දේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ විශාල පෙරළියක් සිදු වූවා. බණ්ඩාරනායක මහත්තයා යූ. එන්. පීයෙන් අයින් වුණා. ඔහුගේ බලාපොරොත්තුව වුණේ් වෙනම පක්ෂයක් හදා ගැනීම. එහි ප්‍රතිඵලයක් විදියට ශශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුණා. වත්මන් ජනාධිපතිවරයාගේ පියා ඩී. ඒ. රාජපක්‍ෂ මහතාත් බණ්ඩාරනායක මහත්තයා සමඟ එක්ව හිටියා. ගුරු අභ්‍යාස විද්‍යාලයේ අපේ ගුරුවරයෙක්ව සිටි ඩී. පී. අතුකෝරල මහත්තයා බණ්ඩාරනායක මහත්තයාගේ ළඟම යාළුවෙක්.

“තමුසෙලා කැමැති නැද්ද බණ්ඩා බලන්න යන්න කියලා” මගෙනුයි සේකරගෙනුයි, අතුකෝරල මහත්තයා ඇහුවා. හොරගොල්ල වලව්වට අපි ගියා. බණ්ඩාරනායක මහත්තයා උණුසුම් අයුරින් අපව පිළිගත්තා. ටික වේලාවක් කතාබහ කරමින් සිට අප එන්න පිටත් වුණා. ඒ වෙලාවේදී අතුකෝරල මහත්තයා අපව පෙන්නලා කීවා. මේ අය පිටිසර පළාත්වල ගුරුවරු කියලා. බණ්ඩාරනායක මහත්තයා අපේ ගම්බිම් කොහෙද කියලා ඇහුවා. බෙලිඅත්ත කියලා මං කීවා. ඊට පසුව ඔහු මගේ පිටට තට්ටු කරලා මෙහෙම කීවා. “එහෙමනම් අපේ අලුත් පක්ෂෙට බැඳිලා ඩී. ඒ. රාජපක්‍ෂ මහත්තයාට උදව් කරන්න” කියලා කීවා. බණ්ඩාරනායක මහත්තයා මගේ පිටට තට්ටු කළ විදිහ මට දැනුත් දැනෙනවා. මං එදා ඉඳලා පක්ෂයට උදව් කළා. ඩී. ඒ. රාජපක්‍ෂ මහත්තයාටත් උදව් කළා. ඔහු පාර්ලිමේන්තු ගියා.

ගුරුවරයෙකු ලෙස මට මුල්ම පත්වීම ලැබුණෙ කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයට. ඒ ඒ ළමයින්ට හංස, ගිරා සංදේශ ඇතුළුව සිංහල සාහිත්‍යය මං ඉගැන්නුවා. එය මගේ ජීවිතයට හොඳ අත්දැකීමක් වුණා.

ලන්ඩන් ගෞරව

1952 අවුරුද්දේ අගෝස්තුවේ හර්තාලය පටන් ගත්තා. ඒ වෙලාවේ පාසලේ ළමයින්ගේ මවුපියන් පංති කාමරවලට ඇවිත් ළමයින් ඇදගෙන දුවනවා. එහෙම ඇවිත් ළමයින්ව ඇදගෙන දුවනකොට ඔවුන්ට තුවාල වෙයි කියා මං හිතුවා. ඒ නිසා පාසලට ඇතුළු වන තැන කඩුල්ල හරස් කරගෙන මවුපියන්ට පාසල ඇතුළට එන්න නොදී මං හිටගෙන හිටියා. එහෙම කළේ ළමයින්ගේ ආරක්ෂාව සඳහා මගේ පිටුපස ළමයි පෙළ ගැහිලා හිටියා. මවුපියන් කඩුල්ලෙන් එළියේ හිටියා. කඩුල්ල හරස් කරගෙන මං ඉන්නවා දැකලා කෝප වූ එක පියෙක් ලොකු ගලක් මගේ පැත්තට විසි කරන්න හැදුවා. “ඔය ගලෙන් මට ගැහුවොත් මගේ ළඟ සිටින ළමයින්ට තුවාල වෙයි කියලා හයියෙන් කෑගහලා මං කීවා. ඉන්පසුව ඒ පියා ගල පැත්තකට දාලා ටිකක් වෙලා එතැන ඉඳලා ළමයාව රැගෙන ගියා.

විද්‍යාලයේ ළමයින්ට උගන්වන ගමන් කොහුවල ප්‍රදේශයේ ඉංගී‍්‍රසි පංතියකට මං හවස් වරුවේ සහභාගි වුණා. ඒ නිසා මට හොඳින් ඉංගී‍්‍රසි භාෂාව ප්‍රගුණ කළ හැකි වුණා.

1956 අවුරුද්දේ දී මං විශ්වවිද්‍යාල ප්‍රවේශයට වාඩි වුණා. එය සමත් වුණා. විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. ඒ කාලේ මහාචාර්ය සරච්චන්ද්‍ර, මහාචාර්ය හෙට්ටිආරච්චි, මහාචාර්ය රංමණ්ඩල, මහාචාර්ය පී. ඒ. ප්‍රනාන්දු, මහත්වරු අපට ඉගැන්නුවා. ඒ කාලෙදී තමයි මහාචාර්ය සරච්චන්ද්‍ර මහත්තයා මනමේ, සිංහබාහු පෙරහුරු කළේ. ඒ පෙරහුරුවලට අපත් සහභාගි වුණා.

විශ්වවිද්‍යාලයෙන් පසුව වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයට ගුරු පත්වීමක් මට ලැබුණා. එහේ අවුරුදු තුනක් හිටියා. එහෙදී තමයි මං ගෝලයෙක් සම¼ඟ ආදර සම්බන්්ධයක් පැවැත්වූවේ. ඒ කියන්නේ වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයේදී තමයි මට මගේ සහකාරිය වන පදුමා මුණ ගැහුණේ.

ඒ පාසලෙන් මාරුවක් රැගෙන මං කොළඹට ආවා. කොළඹදී ලන්ඩන් ගෞරව බාහිර උපාධියට (පාලි - සංස්කෘත) පෙනී සිටියා. මං සමත් වුණා. ඒ 1959 , 60 වගේ කාලයේ. ඒ කාලෙදි විද්‍යෝදය විශ්වවිද්‍යාලය පටන්ගෙන පළමුවෙනි විභාගය තිබුණා. එයටත් මං පෙනී හිටියා. එතැනදී ඉතිහාසයට සහකාර කථිකාචාර්ය තනතුරට ඉල්ලුම්පත් දාන්න කියලා තිබුණා. මං එයට ඉල්ලුම්පතක් දැම්මා. මගේ සුදුසුකම් අනුව මාව තෝරාගත්තා. උපකුලපතිව සිටියේ සෝරත හාමුදුරුවෝ. මං උන්වහන්සේව හමුවුණා. එවිට මට දුන් පළමුවෙනි අවවාදෙ තමයි මහා වංශය ඉංගී‍්‍රසි පරිවර්තනයෙන් තොරව පාලි භාෂාවේ අර්ථ අරගෙන ළමයින්ට උගන්වන්න කියලා. මං ඒ විදියට ළමයින්ට ඉගැන්නුවා.

පුවත්පත් පනත පිළිබඳ එකල මහා ආන්දෝලනයක් ඇති වුණා. එකල පාලන බලය තිබුණේ ශශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. පාර්ලිමේන්තුවේදී පනත පැරදුණා. මං එදා මගේ කාර් එක පාර්ලිමේන්තුව ළඟට ගෙන ගියා. පනත පැරදිලා ඩී. ඒ. රාජපක්‍ෂ මහත්තයා පාර්ලිමේන්තුවේ තරප්පු පෙළ බැහැගෙන ආවා. මගේ වාහනයෙන්ම එතුමා ආනන්ද විද්‍යාලයට ගියා. බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු ළමයි හිටියේ විද්‍යාලයේ. එයාලත් එක්ක කතා කරලා එයාලත් එක්කම නුගේගොඩට ගියා. ඔහොම ඉන්න කාලේ විද්‍යොදය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ රැකියාවට ආවා. 1970 අවුරුද්දේ මැතිවරණයට ඔහු ඉදිරිපත් වුණා. ඔහු පසු පස ඉඳගෙන අප උදව් කළා. 1970 අවුරුද්දේ දී ඔහු ජයග්‍රහණය කර සිංහාසන කතාව කළා.

මේ කාලෙදි විශ්වවිද්‍යාලය තුළ සිටි ජනතා විමුක්ති පෙරමුණේ ළමයින්ව පුනරුත්ථාපනය කළා. විශ්ව විද්‍යාලයේ අනෙක් ළමයින්ට නිවාඩු දීලා තිබුණා. නැවතත් විශ්වවිද්‍යාලය පටන්ගන්න කොට මහින්ද රාජපක්‍ෂ මන්ත්‍රීවරයා පැමිණ විද්‍යාල භූමිය වටා ගියා. ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ ළමයි ඔහුව වටකර ගෙන කරදර කරන්න පටන්ගත්තා. මං වහාම ඔහුව වාහනයකට නංවාගෙන ගම්සභා හන්දිය දක්වා රැගෙන ගියා. මේ සිද්ධිය ගමට ආරංචිවෙලා ගමේ මිනිස්සු විශ්වවිද්‍යාලයට ඇවිත් ළමයින්ට ගහන්නට පටන්ගත්තා. මං මහින්ද රාජපක්‍ෂ මහත්තයාට දුරකථන පණිවිඩයක් දී මෙය නවත්වන්න කියලා කීවා. විනාඩි 30 ක් ඇතුළත ඒ කලබලය නැවතුණා. ඊට පසුව ළමයි ගෙවල්වලට යැව්වා.

වචනයෙන් කියා නිම කළ නොහැකි ශාස්ත්‍රීය සේවාවක් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැන්දිස් රෝහණදීරයන් මෙරට ඉතිහාසය සහ භාෂාව පිළිබඳ ප්‍රමාණික දැනුමක් ඇති විද්වතෙකි. ඓතිහාසික වීරවරයෙක්ව ඔබ කළ සේවය සදානුස්මරණීය ය. මවු දෙරණ වෙනුවෙන් ඔබ කළ සේවය මහමෙරකට වඩා අපට වටින්නේ ය. සාහිත්‍යය හා ඉතිහාසය සම්බන්ධව ග්‍රන්ථ රාශියක් සම්පාදනය කළ ඔබට තව තවත් ග්‍රන්ථ රැසක රචකයෙකු වීමට ශක්තිය ධෛර්යය ලැබේවායි අපගේ ප්‍රාර්ථනයයි.

සන්ධ්‍යා කරුණාරත්න

(2011 ජනවාරි 25 දිනමිණ පුවත්පතේ පළවු සම්මුඛ සාකච්ඡාවකි)

සම්පූර්ණ නම - මැන්දිස් රෝහණදීර

උපන් දිනය - 1931 ජනවාරි 21

ගම – හම්බන්තොට පල්ලත්තර

පාසල – පල්ලත්තර ජ්‍යෙෂ්ඨ මිශ්‍ර පාසල

පියාගේ නම - සුවාරිස්

පියාගේ රැකියාව - ගොවිතැන

මවගේ නම - සේදරහාමි

සහෝදර සහෝදරියන් - අයියලා පස්දෙනයි, අක්කයි

බිරියගේ නම - පදුමා රෝහණදීර, (ඉංගී‍්‍රසි ගුරුවරියකි)

දරුවන් ගණන - හතර දෙනයි. දූවරු දෙදෙනායි පුතාලා දෙදෙනායි. වරුණ දර්ශ රෝහණදීර පුතා අතුරුදන් වුණා. හරිගුප්තා රෝහණදීර (අධිනීතීඥ), අරුන්දතී රෝහණදීර, මදුරිකා රෝහණදීර