Sunday, Apr 23rd

Last update04:58:08 PM GMT

You are here The Community අසිරිමත් සංචාරක පාරාදීසය ආරුගම් බේ

අසිරිමත් සංචාරක පාරාදීසය ආරුගම් බේ

  • පී.ඩී.එෆ් (PDF)

2surfingනෑඹුල් ලා හිරු කිරණ ලංකා මිහිතලය ඉස් ඉස්සෙල්ලා ම සිප ගන්නා නැ‍ඟෙනහිර වෙරළේ ඒ  පින්බර උදෑසන. වසර තිහක යුද ශාපයෙන් මිදී වෙරළට දිව එන සාගර රැල්ලේ සතුට හා බැඳුණ ලොව නන් දෙසින් එක් වූ සිනා හඬ. වැවක පහසක් පේන මානයක නැති වෙරළ අභියස සිහිල් සුළං කැරළි හා මුසු වූ සියපත් සුවඳ. මේ කුමන අරුමයක්ද?

1

ඒ පසුගිය 30 වනදා සොඳුරු උදෑසන නැ‍ඟෙනහිර පොතුවිල් ප්‍රදේශයේ ආරුගම් බේ වෙරළ තීරය පුරා පැතිරුණු දර්ශනයයි. රළ මත ලිස්සා යෑමේ ජගත් තරගාවලියේ ආරම්භයයි. රළ මත ලිස්සා යෑමේ ජනප්‍රිය ක්‍රීඩාව සඳහා ලොව වඩාත් ම සුදුසු ස්ථානයක් ලෙස ක්‍රීඩා ලෝලීන් අතර මෙම ආරුගම් බේ වෙරළ තීරය ප්‍රචලිත වී ඇත.

මෙම ක්‍රීඩා උත්සවය සඳහා ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, හවායි දූපත් ඇතුළු රටවල් 21ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 105 දෙනෙකු  සහභාගී වී සිටි අතර ශ්‍රී ලංකාවෙන් ද ක්‍රීඩකයෙක් ඒ සඳහා මුල් පියවර තැබීම විශේෂත්වයකි.

3ඔහු ආරුගම් බේ පෙදෙසට සුපුරුදු සිරිල් ප්‍රණීත් මහතායි. මෙම උත්සවය පසුගිය සැප්තැම්බර් 4 වැනි දා දක්වා පැවැත්වුණු අතර ඊට සහභාගි වූ විදේශිකයින් ශ්‍රී ලංකාව පිළිබඳ ව ඉතා තෘප්තිමත් වූ ධනාත්මක අදහස් අප හා පැවසූ අතර ඔවුන් ඉතාමත් ම සැහැල්ලුවෙන් විනෝද වූ බව අපි දුටිමු. මෙම ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා සංචරණය සහ ශ්‍රී ලංකා එයාර් ලයින් ආයතනය එක් ව සංවිධානය කර තිබුණි.

රළ මත ලිස්සා යෑමේ ලොව ප්‍රචලිත ජනප්‍රිය ක්‍රීඩාවත් සමඟ ආරුගම් බේ වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සුන්දර සංචාරක පාරාදීසයක ආරම්භක මං සලකුණු දක්නට ලැබේ.

සුන්දර ආරුගම්බේ පාලම තුළින් මේ පෙදෙසට ඇතුළුවන සංචාරකයින්ට විවිධ වූ අත්දැකීම් සම්භාරයක් එකවර වින්දනය කිරීමට ඉඩ හසර සැලසේ. සංචාරක පුරවරයකට අවශ්‍ය සියලු අංග මේ ප්‍රදේශයේ දී අපට දැක ගන්නට ලැබිණ.

45එසේ ම ආරුගම් බේ අවට ප්‍රදේශයට පැමිණෙන සංචාරයෙකුට ශ්‍රී ලංකා සංචරණය හඳුන්වා දී ඇති ආශ්චර්යයන් අට අතරින් වෙරළ තීරයේ නිකැළැල් බවත්, වික්‍රමාන්විත ක්‍රීඩා තුළින් ත්‍රාසයත්, අතීත උරුමයන්, ශාරීරික සුවය හා මානසික ප්‍රමෝදයත්, සුන්දර දිවයිනේ සුන්දර දර්ශන නැරඹීමටත්, ස්වාභාවික වන සතුන් දැක ගැනීමටත්, මිනිසුන් හා සංස්කෘතිය හඳුනාගැනීමටත් එකවර ම අවකාශ ලැබේ.

අම්පාර දිස්ත්‍රික්කයට අයත් මේ ප්‍රදේශයේ එක් පසෙකින් සුන්දර ලාහුගල පිහිටි කිතුලන හා යාල ජාතික වන උද්‍යානයන් ද, අනෙක් පසින් කුමන කුරුළු අභය භූමියත් දැක ගත හැකිය. එසේ ම අලින් ගැවසෙන ස්ථානයන් වන එලිෆන්ට් කොරිඩෝර් සහ එල්ෆන්ට් ‍රොක් සුවිශේෂ වේ. පානම සුන්දර ‍රෝස කඳු පෙළින් සුසැදි ක්‍රොකඩයිල් රොක් ස්ථානය අව්ව තපින කිඹුලන් රාශියක් දැකීමට ලැබීම කලාතුරකින් ලැබෙන අත්දැකීමකි.

6

පොතුවිල් කලපුව අති සුන්දර වෙරළ තීරය කෙනෙකු වශීකෘත කරවන මන මෝහනය කරන ස්ථානයකි. නිතැතින් ම එවන් දසුනක් දැකීමට දෑස් පිංකළ යුතු යැයි හැඟෙන තරමට එම ස්ථානය මනරම් වනවා සේ ම ශ්‍රී ලාංකිකයෙකුගේ හදවතේ මව්බිම ගැන ආඩම්බරයක් ඇතිවනවා ට සැක නැත. එසේ ම මෙහිදී වන ජීවීන් දැක ගැනීමට ද අවස්ථාව සැලසේ.
වැලි කන්ද නමින් හැඳින්වෙන ස්වාභාවික වැලිවලින් සුසැදි විශාල වැලි කන්ද විශ්මය දනවන නිර්මාණයකි.

වන ගත කුඩුම්බිගල ස්වාභාවික ලෙන් 200කින් සමන්විත වේ. එසේ ම තරුලෙන්ගල ආරණ්‍ය සේනාසනය ද ලෙන් සහිත වූ නිසංසල පෙදෙසකි. මේ ලෙන්වල අතීතයේ රහතන් වහන්සේලා වැඩ සිටි බවට විශ්වාස කෙරේ. ‍ඓතිහාසික මඟුල් මහා විහාරය, මුහුදු මහා විහාරය මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ස්ථානයන්ය.

7මුහුදු විහාරය ආශ්‍රිත නටඹුන් රාශියකි. එහි

සමහර කොටස් අසල මුහුද අභ්‍යන්තරයේ පිහිටා ඇති බව විහාරවාසී ස්වාමින්වහන්සේ පවසති. මුහුද අසබඩ පිහිටි හද නිවන මේ විහාරය එදා මුහුදේ පාව ආ විහාර මහා දේවිය කාවන්තිස්ස රජු සමඟ සරණ යාම පිණිස ආභරණ පැළඳි ස්ථානය බවට විශ්වාස කෙරේ.

එසේ ම පොතුවිල් හි පිහිටි මඟුල් මහා විහාරයේ රාජ යුවල සරණ බන්ඳනයට ඇතුළත් වූ මංගල පෝරුව පිහිටි ස්ථානය යයි විශ්වාස කරන අතර අද ද එය දක්නට ලැබේ. එසේ ම මෙම විහාර භූමියේ ඇත් ගොව්වකු සහිත ව අප රටේ ඇති එක ම ඓතිහාසික සඳකඩපහන ද දක්නට ලැබේ.

මෙවැනි සුවිශේෂත්වයන් දරණ ආරුගම් බේ අවට ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස දියුණුවීමට නම් බො‍හෝ පහසුකම් අවශ්‍ය ව තිබේ. දැනට ප්‍රධාන පාරවල් කාපට් අතුරා සංවර්ධනය කර ඇති අතර අතුරු පාරවල් දියුණු කළ යුතු ව ඇත. එසේ ම විදුලිය පහසුකම් තිබුණ ද තෙකලා විදුලිය ආදිය තවදුරටත් අවශ්‍ය ව පවතින බව ‍ප්‍රදේශවාසීහු පවසති. මේ ප්‍රදේශයේ එකදු තරු පන්තියේ හෝටලයක් හෝ නැත. එහි දැනට පවතින්නේ කාමර 600ක් වැනි ප්‍රමාණයකි. ඒවා පෞද්ගලික මට්ටමින් පවත්වාගෙන යන අතර මේ හෝටල් පවත්වාගෙන යන අයට ක්ෂේත්‍රය තුළ පැවතිය යුතු ඇවතුම් පැවතුම් ගැන දැනුම ද අල්පය.

8 9

මේ පිළිබඳව අපට අදහස් පළ කළ සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නෙක් මෙන් ම ශ්‍රී ලංකා සංචාරක හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති ඒ.එම්. ජව්ෆර් මහතා පැවසුවේ මේ ප්‍රදේශයට සනීපාරක්ෂක පහසුකම් ඉතා ඉක්මනින් අවශ්‍ය බවයි. එසේ ම කාමර සංඛ්‍යාව ද වැඩි කර ගත යුතු බවයි. දැනට සී ප්ලෙන් ගුවන් ගමන් වාර ආරම්භ කර ඇති බැවින් විනාඩි 50ක පමණ කාලයකදී සංචාරකයෙකුට කොළඹ සිට ආරුගම් බේ වෙත පැමිණිය හැකිය. එය  සංචාරකයෙකුගේ වෙහෙස අවම කරන අතර මේ සී ප්ලේන් ගමන් ව්‍යාප්ත කළ යුතු වේ. සංචාරක පහසුකම් වැඩිකරමින් ඊට සමගාමී ව ව්‍යාපාර ආරම්භ කිරීමට ජනතාව දිරිමත් කිරීම හා ඒ ඒ කර්මාන්තයන් දියුණු කිරීම ද ඉතා වැදගත් බව ඔහු පැවසුවේය.

ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අපට දැක ගන්නට ලැබුණේ තැනින් තැන ඉදිවෙමින් පවතින හෝටල්ය. ඒ අතර තරු පන්තියේ හෝටල් කිහිපක් ද දක්නට ලැබේ. තැන තැන ඉදිවෙන කඩ සාප්පු ද දක්නට ලැබේ. රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාව සඳහා භාවිතා කරන සර්ෆින් බෝඩ් ඇතුළු ක්‍රීඩා උපකරණ අලෙවි සැල් බහුල ව දක්නට ලැබේ.

1011තිස් වසරක යුද්ධයෙන් පසු හිමිවුණු සාමයේ අරුණැල්ලත් සමඟ මුස්ලිම් වැසියන් බහුල ප්‍රදේශයක් වන ආරුගම් බේ අවට ප්‍රදේශයේ සිංහල,දෙමළ, මුස්ලිම් ආදි වූ සියලු ජනතාව සහයෝගයෙන් දිවි ගෙවනු දක්නට ලැබේ. ගොවිතැන, කිරි නිෂ්පාදනය, ධීවර කටයුතු හා සංචාරක හොටල් පවත්වාගෙන යාම  ජීවනෝපයන් අතර කැපී පෙනේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ විශාල සංවර්ධන සංග්‍රාමයකට සතර අතින් සන්නද්ධ ව ක්‍රියා කරන මොහොතක සංචාරක කර්මාන්තයට සුවිශේෂි ස්ථානයක් ලබා දී ඇත.


ඒ අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශය මඟින් සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ පස් වසරක සැලැස්මක් (2011-2016) දියත් කොට ඇත.

12ඒ අනුව මෙම පස්වසරක සැලැස්ම ප්‍රධාන අරමුණු 7ක් ඉටු කරගැනීමට අංශ 8ක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව 2016 වන විට මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන 2.5 දක්වා වර්ධනය කිරීම, මේ කාලය තුළ අප රටට ඩොලර් මිලියන 3000ක ඍජු විදේශ ආයෝජන ඇදගැනීම, මේ ආශ්‍රිත රැකියා අවස්ථා 500,000ක් ලබා ගැනීම, වාර්ෂික විදේශ හුවමාරු ඉපයීම් ඇමරිකන් ඩොලර් බිලියන 2.75 ක් බවට පත් කිරීම, ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරය සඳහා ලෝකයේ ආකර්ශනීය දිවයින බවට පත් කිරීම, මේ ක්ෂේත්‍රයේ  සියලු ප්‍රතිලාභ සමස්ත ආර්ථිකය හා සමාජය වෙත ගලා යන පරිදි බෙදාහැරීම මේ අරමුණු වේ.

එම අරමුණු ඉටුකරගන්නා ආශ්චර්යමත් ඉසව් 8 වන්නේ අපේ උරුමයන්, උත්සව, වන ජීවින්, දර්ශන, ක්‍රීඩා, ආයුර්වේද, සතුට සහ වෙරළ ආදී වශයෙන් සංචාරක දොරටු විවර කිරීමයි. මෙම සංචාරක ප්‍රතිපත්තිය අනුව යමින් පොතුවිල් ආරුගම් බේ ප්‍රදේශ සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

13මෙම ප්‍රදේශය නිරීක්ෂණය කරමින් අවශ්‍ය තොරතුරු සොයා බැලූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ලබන වසර වන විට මෙම ප්‍රදේශයේ සනීපාරක්ෂක අවශ්‍යතාවන් සපුරාලීමටත්, කාමර සංඛ්‍යාව 1200 දක්වා වැඩිකිරීමටත් කටයුතු කරන බවයි. එසේ ම පෞද්ගලික අංශයට අයත් ව තිබෙන සමහර ඉඩම්වල නෛතික ගැටලු විසඳා ගැනීමත්, අවිධිමත් ව ඇති තත්ත්වයන් විධිමත් කර සංචාරක කලාපයට සුදුසු පරිසරයක් බිහිකිරීමත් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව ද අවධාරණය කළේය.

මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තකරුවන්ට විධිමත් පුහුණුවක් හා දැනුම ලබා දීමට අවශ්‍ය වැඩමුළු හා සම්මන්ත්‍රණ ආදි වූ වැඩසටහන් දියත් කිරීම දැනටමත් ආරම්භ කර ඇත. මෙම සංවර්ධන කටයුතුවලදී සංචරණයේ සභාපති නාලක ගොඩහේවා මහතා ඇතුළු සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කාර්ය මණ්ඩලය ද ඉතා කැපවීමෙන් කටයුතු කිරීම දක්නට ලැබේ.

2016 දී දැවැන්ත සංචාරක සංවර්ධනයක් අපේක්ෂා කරමින්, සමස්ත ලංකාව ම ආවරණය කරමින් ගෙන යන වැඩපිළිවෙළ අනුව එම කාර්යයට  ආරුගම් බේ තුළින් ඉමහත් පිටිවහළක් ලැබෙනු ඇත.

14 හෙට දින හිරු නගින විට ආරුගම් බේ වෙරළ තීරය අවට මැවෙන චමත්කාරය ලොව සෞන්දර්යයෙන් කුල්මත් කරනු නො අනුමානය.

 

 

 

 

 

සුබ අනාගතයක්! 

- සකුන්තලා ජයවර්ධන
ඡායාරූප- සුජිත් කොඩිතුවක්කු සහ ඩී.එම්.