Monday, Nov 20th

Last update04:58:08 PM GMT

You are here The Community එක ම රටක් එක ම හඬක් I Sri Lanka මුළු දිවයින පුරා

එක ම රටක් එක ම හඬක් I Sri Lanka මුළු දිවයින පුරා

  • පී.ඩී.එෆ් (PDF)

Sinhala_Logoදූරකතන භාවිතය රටක දියුණුව මනින ප්‍රධානතම ඒකකවලින් එකකි. මහින්ද චින්තනය සමඟ අප ලබා ගත් ශීඝ්‍ර ආර්ථික සංවර්ධනය මෙරට දූරකතන භාවිතය මඟින් මනා ව පැහැදිලි වේ.

ශ්‍රී ලාංකේය සන්නිවේදන ඉතිහාසයේ විශාල පෙරළියක් 1976 දී පළමුවැනි පෘථිවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පාදුක්කේ ආරම්භ කිරීමත් සමඟ සිදුවිය.

1991 වර්ෂයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ආරම්භ කිරීමත්, 1996 දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මඟින් ඉන්ටර්නෙට් සහ ඊමේල් සේවාව මෙරටට හඳුන්වාදීමත් සමඟ සන්නිවේදන ඉතිහාසයේ විශාල පෙරළියක් ඇති විය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අංක එකේ ඒකාබද්ධ සන්නිවේදන සේවා සැපයුම්කරු හා බ්‍රෝඩ්බෑන්ඩ් හා ඒ සඳහා වැදගත් වන යටිතල පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් මඟින් සිය විශේෂ ව්‍යාපෘතියක් ලෙසින් I Sri Lanka ව්‍යාපෘතිය පසුගියදා යාපනයේදී  ආරම්භ  කෙරිණි.

SLT-111

මේ යටතේ දිවයින පුරා ව්‍යාප්ත ව ඇති සිය ජාලයන් නවීකරණය කරමින් සිය සුපිරි වේගයෙන් යුතු බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය එළි දැක්වීම එදින විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

යාපනයේ දී ක්‍රියාත්මක වන විශාලතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘතිය මෙය වන අතර, මේ හා සමගාමී ව යාපනයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කලාපීය දූරකතන සන්නිවේදන කාර්යාලය හා නඩත්තු මධ්‍යස්ථානයක් ද එදින ම ආරම්භ කෙරිණි.

I Sri Lanka යටතේ ක්‍රියාත්මක වන ජාල නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා බ්‍රෝඩ්බෑන්ඩ් ප්‍රවේශය නව පරිවර්තනයකට ලක් කිරීමට නියමිත අතර, මෙහිදී දැනට පවත්නා තඹ පාදක ප්‍රවේශ ජාලය වෙනුවට ෆයිබර් ඔප්ටික් ජාලයක් භාවිතා කිරීම සිදුවනු ඇත. ඉන් අනතුරු ව පාරිභෝගිකයින්ට ස්ථාවර, බාධාවලින් තොර තත්පරයකට මෙගා බයිට් 20 (mbps) දක්වා හා ඊට වැඩි සුපිරි වේගයෙන් යුතු අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත.

ශ්‍රී ලංකාව පුරා සිටින සියලු ම පාරිභෝගිකයින් එකිනෙකා හා බාධාවලින් තොරව සම්බන්ධ කරමින් ප්‍රමුඛතම තොරතුරු,සන්නිවේදනය හා විනෝදාස්වාදය ලබා දීම අරමුණු කර ගනිමින් හඬ, දත්ත හා වීඩියෝ ක්ෂේත්‍රයන්හි සිදුවන නව හා සුවිශේෂී නිෂ්පාදන ගණනාවක පුරෝගාමීත්වය මෙම ජාල නවීකරණය ඔස්සේ ඉදිරියේදී හිමිවනු ඇත.

SLT-333I Sri Lanka ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ Megaline පාරිභෝගිකයින්ට උසස් ම තත්ත්වයේ හඬක්, ස්ථාවර හා බාධා රහිත අන්තර්ජාල පහසුකම් නවීන තාක්ෂණයෙන් යුත් සාම්ප්‍රදායික නොවන රූපවාහිනී සේවා ලබාදීමට සමාගම විසින් සිය ජාලයන් ඉහළ මට්ටමකට ගෙන ඒම සිදු කරනු ඇත.

එමඟින් පෞද්ගලික ව්‍යාපාර ජාලයන්ට, සන්නිවේදන සහිත විනෝදාස්වාදයට, දුරස්ථ අධ්‍යාපනයට, මාර්ගගත අධ්‍යාපනයට, ඊ-සෞඛ්‍යයට මනා වේදිකාවක් තනා දීම සිදුකෙරෙන අතර, එවන් සේවාවලට සුපිරි වේගයක් මෙන් ම ඉහළ ගුණාත්මකභාවයක් හා ඉහළ විශ්වසනීයත්වයක් එක් කිරීම ද සිදු කරනු ඇත. වඩාත් පුළුල් ප්‍රේක්ෂක පිරිසකට දෘශ්‍ය විනෝදාස්වාදයේ නව මානයක් විවර කරමින් I Sri Lanka ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මඟින් Peo TV පහසුකම් ලබාදීම ද සිදුකර තිබේ.

සුරක්ෂිත අනාගතයක්

SLT222සමස්ත ශ්‍රී ලංකාව ම ගෝලීය ප්‍රජාව සමඟ සම්බන්ධ කරන්නා වූ තාක්ෂණය මඟින් මීළඟ දශකයේ ශ්‍රී ලංකාවේ දුරකතන සන්නිවේදන පහසුකම් සැපයීම සඳහා වන පදනම ද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මේ වන විට සකස් කර ඇත.

I Sri Lanka ව්‍යාපෘතිය යටතේ ස්ථාවර, සුපිරි වේගයෙන් යුතු, බාධා රහිත බ්‍රෝඩ්බෑන්ඩ් වේගයන් ලබා දීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම නෙක්ස්ට් ජෙනරේෂන් ජාලය (NGN) , ෆයිබර් බැක්බෝන් හා ප්‍රවේශ ජාලය ඒකාබද්ධ කිරීම හා දැනට පවත්නා තඹ ජාලය ප්‍රශස්තිකරණය කිරීමද ඉදිරියේදී සිදු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ශ්‍රී ලංකාවේ අංක එකේ ඒකාබද්ධ සන්නිවේදන සේවා සැපයුම්කරු මෙන් ම ප්‍රමුඛ පෙළේ බ්‍රෝඩ්බෑන්ඩ් හා බැක්බෝන් යටිතල පහසුකම් සපයන්නකු ද වේ. විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රමුඛතම මෙන් ම දේශීය ආදායමට විශාල දායකත්වයක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මඟින් සපයනු ලැබේ. ශ්‍රී ලංකාවේ වටිනාකමින් ඉහළ ම බ්ලු චිප් සමාගමක් වන මෙහි වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 50කට අධික වේ. මෙම සමාගම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර ඇති අතර, 2010 දෙසැම්බර් මස 31වන දින වන විට  එහි වෙළෙඳ ප්‍රාග්ධනය රුපියල් බිලියන 88 ඉක්මවා තිබුණි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පාරිභෝගික පදනම මිලියන 5.5 ඉක්මවන අතර නිත්‍ය මෙන් ම ජංගම ඛණ්ඩයන්ට ඇතුළත් බහුජාතික සමාගම්, විශාල හා කුඩා පරිමාණයේ සංස්ථා, සුළු හා ගෘහස්ත පාරිභෝගිකයන් මීට අයත් වේ.

ඉදිරි කාල පරිච්ඡේදය වන විට මෙරට පරිගණක සාක්ෂරතාව 75% දක්වා වැඩි කිරීමටත්, පරිගණක ආශ්‍රිතව නව රැකියා ලක්ෂ 2ක් බිහිකීරීම මෙන් ම තොරතුරු තාක්ෂණ කර්මාන්තයෙන් විදේශ විනිමය ඇමරිකානු ඩොලර් දශ ලක්ෂ 2000 දක්වා වැඩි කිරීම හා තොරතුරු තාක්ෂණය සෑම අයෙකු විසින් ම එදිනෙදා ජීවිතයේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම යන මහින්ද චින්තන තොරතුරු තාක්ෂණ සංවර්ධන  අරමුණු I Sri Lanka ව්‍යාපෘතිය යාපනයේ දී ඇරඹීමත් සමඟ වඩාත් සාර්ථක ව ඉටුකර ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.

එනූෂා බණ්ඩාර